දුතීය චේතනා සූත‍්‍රය : 07 කොටස
ආරම්මණයේ විඤ්ඤාණය පිහිටියා වෙන්නේ අපි හිතන මට්ටම ගත්තහම ඒ හිතපු මනෝ විඤ්ඤාණ මට්ටම කෙලින්ම ආරම්මණයේ පිහිටියාම තමයි කර්ම විඤ්ඤාණයක් බවට පත්වෙන්නේ. එතකොට තමයි අපිට සැපදුක් වි`දින්න පුළුවන් ලෝකයක් හැදෙන්නෙ.
එබඳු අදහසකින් ලෝකෙ බලනකොට අපිට පේන්නෙ ගහක්මයි. ගෙයක්මයි. උදාහරණයක් කිවුවොත් හතරැුස් ටයිල් අල්ලලා තියෙන පොළවක තම තමන් හිත තියලා බලන විදියට දික් අතට ටයිල් අල්ලපු පොළවක් දකින්න පුළුවන් ඕන නම්. තව විදියකට හිත තියලා හරස් අතට ටයිල් අල්ලපු පොළවක් දකින්න පුළුවන්. වෙනත් විදියකට හිත තියලා කිරිබත් කැට හැඬේට ටයිල් අල්ලපු පොළවක් දකින්න පුළුවන්. තම තමන් හිතලා හිත තියන විදියට ඒ ඒ ආකාර රූපයක් දකින්න පුළුවන්. කෙනා කෙනාට තර්ක කරන්න පුළුවන්. මේ දික් හැඬේට ටයිල් අල්ලලා තියෙන්නෙ. මේ හරස් අතට ටයිල් අල්ලලා තියෙන්නෙ කියලා. තම තමන්ට පෙනෙන විදියට නිසා කියන්නෙ, ඒවා වැරදි නෑ හරි. හැබැයි ඒ එකක්වත් යථාර්ථය නෙවෙයි. සීමා නොකරන ලද මනසකින් බැලූවොත් පවතින ස්වභාවය පෙනේවි.
අපි බලන සිද්ධිය සහ අපට පෙනෙන සිද්ධිය කියලා දෙකක් තියෙනවා. විඤ්ඤාණය පිහිටියාට පස්සෙ එදා ඉඳලා එයා බලන්නෙ එහෙම. විඤ්ඤාණය පිහිටන්න කලින් එක හැඩයක්වත් නැති ටයිල් පොළවක් තමයි පේන්නේ. දිග අතට හරස් අතට කියලා දැන් මේ පේන එක අපි හදාගත්ත එකක්. පංච උපාදානස්කන්ධ රූපයක්. හම්බවෙන එක අනික් පැත්තට. ඒ වගේ ආරම්මණයෙ විඤ්ඤාණය පිහිටියොත් අපිට බලන්න ලෝකයක් හම්බ වෙනවා. ඇහැ උපදවාගන්න සළායතන පච්චයා ඵස්ස කියලා ක්ෂේත‍්‍රයක් හම්බවෙයි.
එතකොට අපිට ගොඩයන්න බෑ. හම්බවෙන්නෙම දික් අතට හරස් අතට ටයිල් අල්ලපු පොළවක් වගේ විඤ්ඤාණය පිහිටියොත් පේන්නෙම ජරා මරණමයි. දරුවා ලෙඩවෙනවා, දරුවා මැරෙනවා, තමන් ලෙඩවෙනවා මිසක එයින් තොර යමක් හම්බ වෙන්නෙ නෑ. ඒකයි මෙතන තියෙන ප‍්‍රශ්නෙ. ශබ්දාරම්මණය කියන එක ගන්න. උපාදාය වවත්ථෙති කියනකොට කන ඉදිරිපිටට එන ශබ්දාරම්මණයෙ ස්වභාවය තමයි මං කලින් මතක් කළේ.
අපි නොදන්න භාෂාවකින් කතා කළොත් අපිට තේරෙන්නෙ නෑනෙ. ඒ ශබ්දය උදවු කරගෙන අපිට රූප බලන්න යන්න පුළුවන්කමක් නෑ. නැවත ඒ ශබ්දය අහන්න යන්නත් බෑ. ඒ ශබ්දයත් එක්ක ගඳ සුවඳ දැනෙන අරමුණු සිහිවෙන්නෙ නෑ. රස සිහිවෙන්නෙ නෑ. ස්පර්ශ කරන අරමුණු පෙනෙන්නෙ නෑ. ඒ ශබ්දය ඇහෙනකොට තමන්ට බැන්නා කියලා තරහ යනවද? තමන්ට ප‍්‍රශංසා කළා කියලා සතුටු හිතෙනවද? ඒ ශබ්දය අරබයා කිසිම දෙයක් හිතෙයිද? හිතෙන්නෙ නෑ. අද ද මේ ශබ්දයක් අපිට තේරෙනවා නම් ඒ අරමුණේ විඤ්ඤාණය පිහිටලා.
‘‘එතකොට හාමුදුරුවනේ බණත් අහන්න බැරිවෙනවනෙ කමනෙ’’ කියලා හිතෙන්නෙ නැද්ද?
‘තණ්හං නිස්සාය තණ්හා පහාතබ්බා, ආහාරං නිස්සාය ආහාර පහාතබ්බා.’
එක කොටසක් තියෙනවා තණ්හාව ඇසුරු කරගෙනම තණ්හාව නසන්න ඕනෙ. ආහාරය ඇසුරු කරගෙනම ආහාරය නසන්න කොටසක් තියෙනවා.
මේකෙදි මේ අවිද්‍යාව තුළ ඉඳගෙන බණ අහන එකෙන් ම, අවිද්‍යාව නසන්න ක‍්‍රමයක් තියෙනවා. තවම බණ අහන මට්ටමෙත් අවිද්‍යා අනුසය අනුසය වෙනවා. මේ මට්ටමට විඤ්ඤාණ සංඛාර තියෙන්නෙ. අවිද්‍යා ධර්මයෝ අනුසය වෙලාමයි මේ තියෙන්නෙ. ඒ කියන්නෙ අපිට ශබ්දයෙ යථාභූත ස්වභාවය නොදැනම බණ වචන වුනත් ඒකට ඈඳලාමයි අපි හිතන්නෙ.
ලෝකෝත්තර ඥාන දර්ශනයේදිත් කියන වචන තේරෙනවා, තේරෙනවත් එක්කම ශබ්දය වෙන එකක්, හිතන එක වෙන එකක් කියන එකට නුවණ තියා ගන්න දන්නවා. සතෙක්ගෙ ශබ්දයක් ඇහෙනකොට ම ශබ්දය වෙන එකක්,
සතා වෙන එකක් කියන තැන නුවණයි. ඒ හින්දා සතාගෙ ශබ්දෙ හොයාගෙන කවදාවත් බාහිරට යන්නෙ නෑ කියන ඥාන දර්ශනයක් ශබ්දයට සමගාමීව උපදිනවා ලෝකෝත්තරයේදී. මේ මට්ටමේ දී තවම මේ ඇහෙන ශබ්ද වුනත්, බණ දහම් ශබ්ද වුනත් අවිද්‍යා අනුසය තවම අනුසය වෙනවා. නමුත් අවිද්‍යාව නසාගන්න උපකාරයි ඒක.
ඒ නිසා යම් ශබ්දයක් ඇහෙනකොට උපන් ආශ‍්‍රව වැඩෙන, නූපන් ආශ‍්‍රව උපදින ශබ්ද තියෙනවා නම් එබඳු ශබ්ද නොඇසිය යුතුයි. උපන් ආශ‍්‍රවය දුරු වෙයි නම් නූපන් ආශ‍්‍රව නූපදී නම් එබඳු ශබ්ද ඇසිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අනුක‍්‍රමයෙන් මේ ආශ‍්‍රවය ගෙවී ගෙන යනකොට ඒ ගෙවෙන්නේ අවිද්‍යා ආශ‍්‍රවයෙ වැට. ගෙවෙන්නෙ විද්‍යාවට හිත තබලා. විද්‍යාව ඇතිවෙලයි අවිද්‍යා ආශ‍්‍රවය ගෙවෙන්නෙ. ඒ විද්‍යාවට
තේරෙනවා, ආරම්මණය වෙන එකක්. ඒක පිහිටි විඤ්ඤාණය වෙන එකක්.
මේ ධර්මතා දෙක දෙකක් කියන මට්ටම හොඳට තේරෙනවා. නමුත් විෂම ලෝකෙ සමව හැසිරෙනවා. බල්ලගෙ ශබ්දය කියනකොට ශබ්දය අනිකක්, බල්ලා අනිකක් කියලා දන්නවා. ‘‘ඔව්, ඔව් මටත් ඇහුනා’’ කියලත් කියනවා. ‘‘ශබ්දයට කොහෙන්ද බල්ලො’’ කියලා අහන්නෙ නෑ. නැත්නම් ‘‘ශබ්දයට කොහෙන්ද ගිරවු’’කියලා අහන්නෙ නෑ.
යථාර්ථය මෙහෙම වුනාට එතන අවිද්‍යා ප‍්‍රත්‍යයෙන් එයා ඇසුරු කරන රූපය බල්ලෙක්ගෙ රූපයක්. බල්ලෙක්ගෙ ශබ්දෙකුයි එයාට තියෙන්නෙ. යථාභූත ඥානය එතනට නෑ කියලා හොඳට දන්නවා. එයාට තියෙන්නෙ අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, සංඛාරයෙන් උපන්න විඤ්ඤාණයක් කියලත් හොඳට දන්නවා. ඒ හින්දා ලෝකෙ රණ්ඩු කරන්න යන්නෙත් නෑ.
ඔන්න ශබ්දය උපාදාය රූපයක් කියනකොට රණ්ඩු කරන්න, බනින්න පුළුවන් විදියෙ වචන ඇහුනා නෙමෙයි. සතුටුවෙන්න ප‍්‍රශංසා කරන විදියෙ ශබ්ද ඇහෙනවත් නෙමෙයි. නරක වචනයක්ද, බැන්නද, හොඳ කිවුවද, ප‍්‍රශංසා කළාද කියන ටික තියෙන්නෙ මනෝ විඤ්ඤාණයෙ. තමන්ම ඒ ශබ්දය සතුටුවෙන විදියට හදලයි සතුටු වෙලා තියෙන්නෙ. කන ඉදිරිපිටට එන්නෙ ශබ්ද මාත‍්‍රයක්, සැප දුක් එන විදියට රූප අපිමයි හදාගන්නෙ. පළගැටියා තමන්ම පහනට පැනලා පිච්චෙනවා වගේ. සැප දුක් දෙක හදන්නෙ ලෝකයා නම් අපිට දුක අයින් කරගන්න බැරි වෙනවා. ලෝකයා දුක අයින් කරලා දෙනකම් ඉන්න වෙනවා. අපේම මනසින් අපි සැප දුක් දෙක හදාගන්න නිසයි දුක් වි`දින්නත් දුකෙන් මිදෙන්නත් පුළුවන්කම ලැබිලා තියෙන්නෙ.
ශබ්දය පි‍්‍රය එකක්ද, අපි‍්‍රය එකක් ද කියන එක නිමාණය වෙන්නෙ අරමුණේ විඤ්ඤාණය පිහිටියාමයි කියන කාරණාව තේරුම් ගන්න. නාසයට දැනෙන ගන්ධයෙ සුවඳ,දුගඳ කියලා ප‍්‍රභේදයක් තියෙයි. නමුත් ඒකට විස්තර එකතු වෙන්න බෑ. මල් සුවඳ, හඳුන්කූරු සුවඳ කියලා සුවඳට ද්‍රව්‍ය කාරණා එන්න බෑ. මීයෙක් මැරිලද කොහෙද කියලා දුගඳට ද්‍රව්‍ය කාරණා එකතු වෙන්න බෑ. ද්‍රව්‍ය කාරණා එකතු නොවි සුගන්ධ - දුර්ගන්ධ කියලා දෙකට බෙදිලා හම්බවෙන එක විතරයි යථාර්ථය. අමනාපෙන් ඉවත් වෙන්නවත් මනාපෙන් ළං කරගන්නවත් විස්තර නෑ. අශූචි ඇෙඟ් ගාගන්න එහෙම බෑ. ඇහැට පේන ටික වර්ණ සටහන. දුගඳට රූප නෑ. ඒ නිසයි අශූචි ඇෙඟ් ගාගන්න බෑ කියලා කිවුවේ.
දැන් ඔය පින්වතුන් හිතාගෙන ඉන්නෙ මේ පේන ශාලාව ඇතුළෙ ඉඳන් බණ අහනවා කියලනෙ. මේ පේන රූපායතනය ඇතුළෙ ඉන්න පුළුවන්ද? පෙනෙන රූපායතනය වර්ණ සටහනක් නම් තමන් ඉඳගෙන බණ අහන තැන කියන්න පුළුවන්ද? බෑ. ඒක තමයි යථාර්ථය. රහතන් වහන්සේ නමකට ගහක් යටත් මාළිගාවත් දෙකම එකයි. ඇයි ඒ? පේන අරමුණ කයට දැනෙන ස්පර්ශයට සම්බන්ධ නැති නිසා, මාළිගාව ඇතුළෙ ඉන්නවා කියලා ඇහැට පේන රූපය ඉන්න එකට ගැට ගහන්නෙ නෑ. ගහක් යට ඉන්නෙ කියලා ඇහැට පේන රූපයක් ගැට ගහන්නෙ නැති වුනාම කයට ගැටෙන ගහට හේත්තු වුනත්, බිත්තියට හේත්තු වුනත් ගැටෙන පඨවිය එකර්මයි. සැප දුක් විඳලා තියෙන්නෙ එපමණකින්.
ඒ වගේ කළුගල් තලාවක නිදාගත්තත්, ඇඳක නිදාගත්තත් රළු ගතිය ස්පර්ශය පිළිබඳ වෙනස විතරයි තියෙන්නෙ. වෙන මුකුත්ම නෑ ඒ ජීවිතේට. කයට ගැටෙන එක පොට්ඨබ්බය ඒකට විස්තර එකතු කරන්න එපා. දිවටයි, නාසයටයි දැනෙන දේට ද්‍රව්‍ය කාරණා එකතුකරන්න එපා. ලූණු රස, ඇඹුල් රස, තිත්ත රස කියලා රසය දැනගන්න, රසය නම් කරන්න. රසයට ගොරකා කෑලි, දෙහිගෙඩි, අඹ ගෙඩි එකතු කරන්න එපා. ඒ විස්තර ටික එකතුවෙන්නෙ මනෝ විඤ්ඤාණයෙන්.
ජිව්හා සම්ඵස්සයෙන් උපදින රස සංඥාව කියන්නෙ, රස රූපය කියන්නෙ ලූණු රස, තිත්ත රස, ඇඹුල් රස කියලා දැනෙන මාත‍්‍රය විතරමයි. ඒකට විඤ්ඤාණය පිහිටියාමයි ලූණු රසට පාට කියන්න පුළුවන්. ඇඹුල් රසට දෙහි වගේ කියන්න පුළුවන්. එහෙම වුනාම තියෙන දෝෂෙ තමයි, ඒ රස හොයාගෙන යන්න පුළුවන්. කෑමට ලූණු රස අඩු වුනොත් ලූණු හොයාගෙන යන්න පුළුවන් වෙන්නෙ හිතෙන් බැඳපු අර නිමිත්ත සිහි කරලයි. හොඳයි, ලූණු රස දිවට දැනුනා. නිමිත්තක්, සටහනක් ඈඳුවෙ නැත්නම් ඒ රස හොයාගෙන යන්න පුළුවන්ද? නැවත කවදාහරි දවසක දිවට ඒ රසය ගැටුනොත් දැනෙයි. හොයාගෙන යන්න බැහැ.
නාසයටයි දිවටයි නම් උපාදාය රූපයක්, මහා භූත නෑ. කයට ගැටෙන එක මහා භූතයි. ඒකෙ පඨවි ගතිය තියෙනවා. රළු සියුම් බව විතරක්ම දැනෙනවා. හැබැයි හැඩතල නෑ. දිග, කොට, හතරැුස් ඔය වගේ රූප ඇවිල්ලා හැපිලා නෑ කවදාවත්. නිල් පාට, කහපාට රූප, සුවඳ දුඟද ඇෙඟ් හැපිලා නෑ. පැණිරස, තිත්ත රස ඇවිල්ලා ඇෙඟ් හැපිලා නෑ. මිහිරි, අමිහිරි හ`ඩ ඇෙඟ් හැපිලා නෑ. ඇෙඟ් හැපිලා තියෙන්නෙ පඨවිය. රළු හෝ සියුම් විතරයි. ඒක මහා භූතයි.
හිතට දැනෙන එක ධම්මාරම්ණය, ධම්මායතනය පරියාපන්න රූපයක්. ඒ ද සිතිවිලි මාත‍්‍රයක් විතර්ක මාත‍්‍රයක් විතරයි. ඒ විතර්ක තුළ ගේ දොර, ඉඩකඩම් යාන වාහන තියෙන්න බැහැ. දරුවො ඉන්න බැහැ. හිතට පෙනෙන ධම්ම රූප මාත‍්‍රයක්. ඒක තමයි මනෝධාතු ධම්ම ධාතු කියලා කියන්නෙ. මනෝ ධාතුවෙන් කරන්නෙ හැඩ සටහන් සිහි කරන එක. ඇහෙන් දැකපු, කනෙන් අහපු කුමන හෝ සටහනක් සිහි කරන එක තමයි මනසෙන් කරන්නෙ. ඒ සිහිකරපු ආරම්මණය අරබයා දරුවා, ගෙදර කියලා උපදින මනෝ විඤ්ඤාණය අර ධම්ම රූපෙට ඈඳුවාම ඒ ධම්ම සටහන ගෙදර මතක් වුන බවට, දරුවා මතක් වුන බවට හසුවෙනවා.
ඇහෙන් බලපු වර්ණ සටහන ඒ විදියට ම ඒ හැඩය එහෙමම ගන්න පුළුවන්. ඒක යමක්, දෙයක්, කෙනෙක් කරන්නෙ විතර්කයෙන්. එක ආයතනයකින් අනුසය ධර්මයෝ අනුසය වෙද්දි, අනික් ආයතනයන්ගෙන් නොවෙනවා කියලා එකක් නෑ. එකකින් ලිහෙනකොට මේ ඔක්කොම ටික ලිහෙනවා.
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.
0 Comments