දුතීය චේතනා සූත‍්‍රය : 08 කොටස
අපි උදේ කතා කළා සංයුක්ත නිකායෙ දුතිය චේතනා සූත‍්‍රය ගැන. ආරම්මණයෙ විඤ්ඤාණය පිහිටියොත්, ඒ විඤ්ඤාණය වැඩුනොත් නැවත නාමරූප වෙලා සළායතන හැදිලා ජරා මරණ දුක ඇතිවෙනවා කියලා තථාගතයන් වහන්සේ පෙන්වා වදාළා. ආරම්මණයෙ විඤ්ඤාණය පිහිටන්නෙ කොහොමද? යම් අරමුණකට හිතනවා නම්, කල්පනා කරනවා නම්, අනුසය වශයෙන් හෝ පවතිනවා නම්, නොහිතුවත් කල්පනා නොකළත් අනුසය වශයෙන් හෝ පවතිනවා නම් අරමුණේ විඤ්ඤාණය පිහිටනවා කියලා තථාගතයන් වහන්සේ මතක් කළා.
මම ඒක දෙකට බෙදලා ඔය පින්වතුන්ට විස්තර කළා. ආරම්මණය කියන්නෙ රූපාරම්මණ, ශබ්දාරම්මණ, ගන්ධාරම්මණ, රසාරම්මණ, පොට්ඨබ්බාරම්මණ, ධම්මාරම්මණ කියලා. ආරම්මණයෙ විඤ්ඤාණය පිහිටියා වෙන්නෙ ඒ අරමුණේ එල්බගෙන ඊට අනුව මනෝමයෙන් මොනවා හරි සිතුවොත් ඒ සිතේ තියෙන ගතිටික අර ආරම්මණයේ බැඳෙනවා.
ආරම්මණයේ විඤ්ඤාණය පිහිටියාම අපිට අරමුණ හම්බවෙනකොට අර සිතේ තියෙන ගතිය සිහිවෙනවා. ඒ සිත සිහිකළොත් අර රූපාරම්මණය තමයි අපිට ඈඳෙන්නේ. මේ රූපය දැක්කොත් පොත කියන අදහස එනවා. පොත කියලා හිතුවොත් හිතට මේ රූපෙ පේනවා. ඒකෙ පොදු ලක්ෂණය තමයි, දැකපු දේ තියෙනවා කියලා ඉතුරුවෙනවා. ආරම්මණයේ විඤ්ඤාණය නොපිහිටන්න නම් අනුසය ධර්මයෝ දුරුවෙන්න ඕන කියලා පෙන්නුවා. නොසිතනවා, කල්පනා නොකරනවා, අනුසය වශයෙන් ද නොපිහිටියොත් තමයි අරමුණේ විඤ්ඤාණය නොපිහිටියා වෙන්නෙ. අනුසය කියන ධර්මතාවය දුරු කරන්න අපිට ලෝකෝත්තර මාර්ග ඥානයක්ම ඕනවෙනවා කියලා මම මතක් කළා.
ලෝකෝත්තර මාර්ග ඥානය කියන්නෙ මොකක්ද කියන එකත් කතා කළා. රූපාරම්මණයේ යථාභූත ස්වභාවය, ශබ්දාරම්මණයේ, ගන්ධාරම්මණයේ, රසාරම්මණ, පොට්ඨබ්බාරම්මණ, ධම්මාරම්ණ කියන ආරම්මණයන්ගේ යථාභූත ස්වභාවය ඇත්ත ඇති සැටියේ පවතින මට්ටම දකින එකයි සම්මා දිට්ඨි කියලා කිවුවෙ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඊට පස්සෙ ඒ ඇත්ත ඇති හැටිය දකින්න ඕන කොහොමද කියන එක, එක එක ආරම්මණය අරබයා මම මතක් කළා. ඒ වගේ ම මහා භූතයන්ගේ උපාදාය රූපයක් කියලා දකින්න ඕන. අවිද්‍යා, කම, තණ්හා,
ආහාරයන්ගෙන් හටගෙන තියෙන්නෙ කියලා දකින්න ඕන. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියලා දකින්න ඕනෙ. ශබ්දාරම්මණ, ගන්ධාරම්මණ, රසාරම්මණ, ධම්මාරම්මණ, අරබයාත් ඔය විදියටම දකින්න
ඕන. පොට්ඨබ්බාරම්මණයේ විතරක් උපාදාය රූප වෙනුවට මහා භූතයි කියලා දකින්න ඕන. ඒත් අනික් ගති ටික එකර්මයි.
ඊට පස්සෙ මම බාහිරයි කියන්නෙ ඇයි කියන ටික විස්තර කළා. මහා භූතයන්ගෙ උපාදාය රූපයක් කියන්නෙ මොකක්ද කියන කාරණාවත් විස්තර කළා. තව දුරටත් ඒක පැහැදිලි කරනවා නම්, වර්ණ සටහන කිවුවම ජලයක පතිතවෙලා තියෙන ඡුායාව තමයි අපිට ඒකට තියෙන මිම්ම. අපි නොදන්න භාෂාවකින් කෙනෙක් කතාකරනවා නම් ඒක කනට ඇහෙන ශබ්ද මාත‍්‍රයක් විතරයිනෙ. ඒක තමයි ශබ්දාරම්මණයෙ මිම්ම. ඔය මට්ටම තමයි යථාභූත ස්වභාවය. දිවට දැනෙන රසය ගත්තොත්, උපතින්ම අන්ධ කෙනෙකුට රූප නිමිති නෑනෙ. එයාට දිවට යමක් ගැටුනොත් රස දැනෙයි. ඒ රසය නම් කරන්නත් පුළුවන්. ලූණු රස, ඇඹුල් රස කියලා. නමුත් ඒ රස දැනෙද්දි රස
අරබයා එයාට නිමිති එන්නෙ නැහැ. උපතින්ම ඇස් නොපෙනෙන කෙනෙකුට ගන්ධය අරබයා නිමිති එන්නෙත් නැහැ. වචන ඇහෙනකොට එයාගෙ ඹනසෙ අපේ වගේ රූ සටහන් ඇ`දිලා නෑ. උපතින්ම ඇස් නොපෙනෙන කෙනෙකුට කයට යමක් ගැටුනොත් මෘදු බව, රළු බව වැටහෙයි. සීතය, උෂ්ණය දැනෙයි. නමුත් පුටුවක්, ඇඳක්, අතක් පයක් ඇෙඟ් වැදුනා කියලා රූපයක් ඇඳෙන්නෙ නැහැ. සිතට හම්බවෙන ධම්ම රූපෙ ස්වභාවය තමයි, හීනෙන් දකින රූප වගේ. ඒකෙන් පියවි ලෝකෙ කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඕක තමයි ඔය රූප ටිකේ ලක්ෂණය.
සම්මා දිට්ඨිය තියෙන කෙනාට ඇහැට රූපයක් පෙනෙනකොට විස්තර ටික තියෙන්න ඕනෙ. රූපය කියන එක බාහිර එකක්මයි කියන කාරණාව තියෙන්න ඕන. ආධ්‍යාත්මික තමන්ගෙ ශරීරය එහෙම දකින්න බැරි බවක් තියෙන්න ඕන. ශබ්දය හැම වෙලාවෙම බාහිරයි. ආධ්‍යාත්මික ශබ්ද එහෙම තියෙන්න බැහැ. ඒ වගේ ස්පර්ශ ආයතන හයම ආධ්‍යාත්මික බාහිර කියලා බෙදන්නෙ නැතුව බාහිරමයි කියන මට්ටම තියෙන්න ඕනෙ. මේ පින්වතුන්ට මතකද සමචිත්ත පරියාය සූත‍්‍රය. ආධ්‍යාත්මික සංයෝජන ඕරම්භාගියයි. බාහිර සංයෝජන උද්ධම්භාගියයි කියලා මතක් කළේ. කාමරාග මට්ටමේ තියෙන මේ කයට තියෙන නිමිති අත පය හතරක් තියෙන, ඉඳගෙන, හිටගෙන, නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක් තියෙන, උඩ යට සරස කියලා මනින්න පුළුවන්. කාම භූමියට අයිති මේ කයේ නිමිති අතහැරෙනවා ඒ මට්ටමේ දි.
දැන් අපිට තියෙනවා දැනගන්න මේ බාහිර ආරම්මණ හැදෙන හේතු. පංච උපාදානස්කන්ධයේ උදයට හේතු පහක් තියෙනවනෙ. අවිද්‍යා, කම, තණ්හා, ආහාර, නිබ්බත්ති ලක්ෂණ නොදැකීම කියලා, ඒ පහම තියෙනවා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම කියන ටිකට. ඇහැට පෙනෙන රුප ගත්තොත් මේ රූප හැදිලා තියෙන්නෙ අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන්, කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ. දැන් අපි හිතාගෙන ඉන්නෙ බාහිර තියෙන රූපයක් අපිට පේනවා කියලනෙ. එහෙනම් බාහිර තියෙන ගහකොළ වල අවිද්‍යාව තියෙනවද? අවිද්‍යාවෙන් ද හැදිලා තියෙන්නෙ? කර්මයෙන් ද හැදිලා තියෙන්නෙ? ඇයි එහෙම බුදු රජාණන් වහන්සේ දේශනා කළේ. අපි හිතාගෙන ඉන්නෙ මේ ගොඩනැගිලි, ගහ කොළ අපි ඉපදෙන්න පෙරත් තිබුනා. ඒ තියෙන වස්තු තමයි අපිට පේන්නෙ කියලනෙ. ඒවත් ඒ මට්ටමට හැදිලා තියෙන්නෙ අවිද්‍යාවෙන්, කර්මයෙන්ද? නෑ. ඒකට හේතුව මේ ඇහැ හැදෙන්නෙ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතුවලින්.
අපි පෙර ජීවිතයේ දී කරපු කුසල වේවා අකුසල වේවා කර්ම නිමිත්තක් හිතට පෙනෙන කොට ඒ කර්ම නිමිත්ත ඇති කළේ අවිද්‍යා සංඛාර, අවිද්‍යාව නිසා කර්ම නිමිත්ත එනකොට නිකාන්ති ක්ෂණය කියලා අපි හැම කෙනෙක්ම ප‍්‍රතිසන්ධියට යන්නෙ තණ්හාව නිසාමයි. පටිච්ච සමුප්පාදෙ තණ්හා, උපාදාන, භව කියලා තියෙන්නෙ. ඒ කර්ම නිමිත්තෙ ඇත්ත නොදැන ඒ නිමිත්තට තණ්හා වෙලා - තණ්හාව කියන්නෙ වෙන මුකුත් නෙවෙයි ඒ මොහොතෙ ඒ නිමිත්ත හිතෙන් අල්ලගන්න කමම තණ්හාව අජ්ෙඣාසාය තිට්ඨති - එතකොට හොඳ කියලා නරක කියලා ආයෙ වෙනසක් නැහැ. ඒ පෙනන කර්ම නිමිත්තට තණ්හා කළාම, විඤ්ඤාණය පිහිටියාම ප‍්‍රතිසන්ධි වශයෙන් මවු කුසකට බැසගන්නවා.
විඤ්ඤාණය මවු කුසට බැසගන්නකොට අවිද්‍යා කම, තණ්හා කියන හේතු ටිකක් තියෙනවා ඒ මවු කුසේ තියෙන බීජ කළලය ඇසුරු කරගෙන තියෙන විඤ්ඤාණයට. එහෙම පැමිණි විඤ්ඤාණයට පවතින්න කන බොන ආහාරය මෙහෙන් ගන්නවා. ඒ ආහාර ලැබෙනකොට හිතේ තියෙන කර්ම ගති වලට තමයි රූපය රාශි වෙන්නෙ. එතකොට ඒ සිතයි, සිතුවිලියි දෙක කබලිංකාරාහාර රූපයෙ බැ`දිලා තියෙන්නෙ. ඒ රූපය මේ සිතේ බැ`දිලා තියෙන්නෙ. අඤ්ඤමඤ්ඤ ප‍්‍රත්‍යය කියන්නේ. තෙත බිත්තියකට කඩදාසියක් තිබ්බොත් බිත්තියෙ තියෙන තෙතමනය කඩදාසියට උරා ගන්නවනෙ.
ඒ වගේ මේ සිතේ තියෙන ගති ටික උරාගෙන තියෙන්නෙ අර රූපෙට. ඕකට කියනවා විඤ්ඤාණය මේ කයේ බැ`දිලා කියලා. මේ කය සිතේ තියෙන ගති ටික උරාගෙන තියෙන්නෙ. දැන් සිතේ තියෙන ගති වලට අනුව තමයි රූපය හැදිලා තියෙන්නෙ. රූපය හැඩවෙන ආකාරයට තමයි සිත පවතින්නෙ. මෙහෙම නාම රූප දෙක පවතින කොට ඇහැ, කන, දිව, නාසය ශරීරය කියන ප‍්‍රසාද ටික පිහිටනවා. මහා භූත රූපයෙ මේ විදියට ප‍්‍රසාද හැදුනෙ සිතේ තියෙන ගති නිසයි. ඒ නිසා මේ ඇහැට කියනවා කමජ රූපයක් කියලා. කන, නාසය, දිව, ශරීරය, කමජ රූප සිතේ තියෙන කර්ම ගතිවලට අනුව හැදිලා තියෙන නිසා. ප‍්‍රසාද ටික එහෙම හැදුනෙ ඇයි?
කෙනෙක් යනවා මාළු අල්ලන්න දැලක් වියාගෙන. එහෙම යන්නෙ මාළු කන්න තියෙන කැමැත්ත නිසා. ඒ වගේ ප‍්‍රතිසන්ධියෙ ඉඳලා විඤ්ඤාණය රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ඨබ්බ තණ්හා කියලා අරමුණු වලට තණ්හාවෙන් ඕවා දකින්න අහන්න, වි`දින්න ඕන හින්දයි මේ මවු කුසට බැස ගත්තෙ. දැන් ඒ වාඩියෙ ඉඳලා දැල එලාගෙන ඉන්නවා මාළු අල්ලන්න. මාළු කන්න තියෙන කැමැත්ත නිසා. විඤ්ඤාණය රූපයට බැසගෙන එයාගෙම හිතේ තියෙන ගති වලට හදපු මේ චක්ඛු ප‍්‍රසාද, සෝත ප‍්‍රසාද කියන්නෙ දැල.
පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වණ, ගන්ධ, රස, ඕජා කියන ශුද්ධාෂ්ටක මට්ටමේ රූප කලාප ටිකක් තමයි, අවකාශ ධාතුවෙ තියෙන්නෙ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන උපාදාය රූප ටික මහාභූතයන්ගෙන් වෙන් කරන්න බෑ. ඔහොම රූප කලාප තියෙන තැනක මේ ඇහෙන් තමයි වර්ණ සටහනක් හදලා පෙන්නන්නෙ. ඒ වර්ණ සටහන හිතටම වි`දින්න හදලා තියෙන්නෙ. අපි අපේ කර්මයට වි`දිනවා මිසක බාහිර කිසි දෙයක් වි`දින්නෙ නැහැ.
කර්මයම වි`දිනවා කියන්නෙ පුරාණ කර්මයට ආයතන ටික හදාගත්තා. ඒ හදාගත්ත ආයතනයන්ගෙන් අපි කැමති විදියට බලන්න රූප හදලා දෙනවා. අපිට වි`දින්න පුළුවන්කම තියෙන්නෙ ඇහෙන්ම හදපු රූපෙ. ඒ නිසා මේ පෙනෙන රූපය හැදුන ගති ටික කියන්න වෙන්නෙ ඇහැ හැදුන ගති ටිකෙන්මයි. ඇහැ හැදුවෙ අවිද්‍යා, කම, තණ්හා, කන බොන ආහාරය කියලා මේ ටික ඔක්කොම එකතු වෙලානෙ මේ ප‍්‍රසාද ටික හැදුනෙ. ඒ කියන්නෙ මහා භූත රූපයයි, චිත්ත චෛතසික ටිකයි එකතුවෙලා තමයි නාම රූප වෙලා සළායතන වෙලා තියෙන්නෙ. ආයතනවලට හේතුව නාමරූප, නාම ධර්ම රූපයටත්, රූපය නාම ධර්මයන්ටත් හේතුවෙලා. නාම රූප පච්චයා සළායතනං, ආයතනවලට හේතුව නාම රූප, නාම රූපයට හේතුව විඤ්ඤාණය. ප‍්‍රතිසන්ධි වශයෙන් විඤ්ඤාණය පැමිණි නිසයි, මේ රූපය සවිඥානක වුනේ.
ඊට පස්සෙයි අඤ්ඤමඤ්ඤව ඔවුනොවුනට උපකාරී වුනේ. විඤ්ඤාණය එතනට පැමිණෙන්න හේතුව කර්ම නිමිත්ත. කර්ම නිමිත්තට හේතුව අවිද්‍යාව. මේ නාම රූපයන්ගෙන් අනුග‍්‍රහ දක්වපු ප‍්‍රසාද ටිකක් තියෙන්නෙ. එබඳු ප‍්‍රසාද ඉදිරිපිටට එන්නෙ ශුද්ධාෂ්ටක මට්ටමේ රූප කලාප ටිකක්. ඇහෙන් ඒ දිහා බලනකොට හැඩ සටහනක්, වර්ණ සටහනක් උපද්දලයි හිතට පේන්නෙ. ඒ බාහිර රූපය හැදෙන්න තියෙන හේතු ටිකට කියන්න තියෙන්නෙ ඇහැ හැදුන හේතු ටිකර්මයි. දැන් මෙතන තියෙන මහා භූත ටික නෙමෙයි මේ පෙන්නන්නෙ. උපාදාය රූපනෙ. ඒ උපාදාය රූපය හදලා තියෙන්නෙ ඇහෙන්.
මතු සම්බන්ධයි!
මේ උතුම් සඳහම් ලිපිය කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන් 0725400094 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් යොමු කරන්න.
දිනපතා මෙවැනි උතුම් සඳහම් ලිපි කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන්ට අපගේ සඳහම් සමූහය සමඟ එක් විය හැක.
https://chat.whatsapp.com/LDw0pu6WqhrFcZFxMuHxJu
මෙවැනි වටිනා සඳහම් ලිපි එකතුවකින් යුතු අපගේ නිල වෙබ් පිටුවට පිවිසෙන්න
pansilmaluwa.lk
තෙරුවන් සරණයි
0 Comments