දුතීය චේතනා සූත‍්‍රය : 09 කොටස
මම උපමාවක් කියන්නෙ, වැලි කැට ටිකක් තියෙන තැනක වැලි ගොඩක් හදලා පෙන්නන්නෙ ඇහෙන්. ඒ පෙනෙන වර්ණ සටහන ඇහැ නිසයි අපිට පේන්නෙ. එහෙනම් ඒ රූපයටත් කියන්න තියෙන්නෙ ඇහේ ගති ටිකර්මයි අවිද්‍යා ප‍්‍රත්‍යයෙන්, කර්ම ප‍්‍රත්‍යයෙන්, තණ්හා ප‍්‍රත්‍යයෙන්, ආහාර ප‍්‍රත්‍යයෙනුයි මේ වර්ණ රූපය කියන එකත් හැදෙන්නෙ කියලා. එහෙම නැතුව ඒ සටහන හදන වෙන කෙනෙක් නෑ. ඒකට වෙන අයිතිකාරයෙක් නෑ. ඔය නිසයි අපි අපේම කර්මය වි`දිනවා, අපි ලෝකය හදාගෙන පරිහරණය කරනවා කියලා කියන්නේ.
කනට ශබ්ද ඇහෙනකොටත් එහෙමයි. කන නිසා ශබ්දයක් උපද්දලා ඒ ශබ්දයයි අපිට අහන්න සලස්වලා තියෙන්නෙ. අපි අපේ ජීවිතෙන් එළියට ගිහිල්ලම නෑ කවදාවත්. යන්නෙත් නෑ. ඒකයි මේ බිත්තර කටුවක් ඇතුළෙ ඉන්නවා වගෙයි කියලා බුදු රජාණන් වහන්සේ උපමා කළේ. අපි අපේ ස්පර්ශ ආයතන හයෙන් ඔබ්බට කවදාවත් ගිහිල්ලා නෑ. ගිහිල්ලත් නෑ. යන්නෙත් නෑ.
ලෝකය කියලා කිවුවෙ ඒකට. ඒ කනෙන් හදලා දෙන ශබ්ද රූපය තමයි, ආපහු හිතට වි`දින්න හදලා තියෙන්නෙ. ඒ ශබ්ද රූපයට හේතු ටික කියන්න වෙන්නෙ කන හැදෙන්න තිබුන හේතු ටිකෙන්මයි. අවිද්‍යා, කම, තණ්හා, ආහාර තමයි කන හැදෙන්න හේතු වුනේ. එබඳු කනෙන් හදලා පෙන්නන ශබ්දයටත් කියන්න වෙන්නෙ ඔය හේතු ටිකර්මයි.
හැබැයි පොඩි වෙනසක් තියෙනවා. ඔය රූපෙටයි ශබ්දෙටයි කියනවා අසම්පත්තගාහී කියලා. ඒ කියන්නෙ ඇහැ, කන කියන ධර්මතා දෙක මුල්වෙලා තමයි රූප, ශබ්ද හදලා තියෙන්නෙ. එතකුදු වුවත් මහා භූත තිබූ තැනම තිබිය දී රූ සටහන් හදලා පෙන්නන්න පුළුවන්කම තියෙනවා ඇහැට, මහා භූත තිබූ තැනම තිබිය දී ශබ්ද රූපයක් හදලා පෙන්නන්න පුළුවන්කම තියෙනවා කනට. ඒ හින්දා ඒ බාහිර මහාභූත මේ ප‍්‍රසාදවලට ඇවිල්ලා හැපෙන්නම ඕන නෑ. එහෙම තියෙන තැනම තියෙද්දි රූප, ශබ්ද හදන හින්දා කියනවා අසම්පත්තගාහී කියලා. පැමිණෙන්න ඕන නෑ.
ධර්මයෙ පෙන්නනවා ගිනි ගොඩක් පේනවා නම් ඕක ඇහේ වැදිලා නම් පේන්නේ ඇහැ පිච්චෙනවනෙ. නමුත් එතනම තියෙද්දි අපිට ඒ සටහන බලන්න පුළුවන්. අකුණක් ගහනකොට තිබූ තැනම තියෙද්දි අපිට හ`ඩ අහන්න පුළුවන්. කනට හෙණ හ`ඩ වැදුනොත් කන පුපුරලා යයි. නමුත් එහෙම වෙන්නෙ නෑ. ඒ නිසයි රූපය, ශබ්දය කියන එක තාක්ෂණ ක‍්‍රම ඔස්සේ පවා යවන්න පුළුවන් වෙලා තියෙන්නෙ. අනික් ඒවා ගන්ධය, රසය, ස්පර්ශය එහෙම යවන්න බෑ. රූපය, ශබ්දය, ඒ ඒ තැනම තිබිය දී ඔසොවලා ගන්න පුළුවන්.
දිව හැදිලා තියෙන්නෙත් අවිද්‍යා, කම, තණ්හා, ආහාර කියන ටිකෙන්. හැබැයි සම්පත්තගාහී. බාහිර තිබුනට රස දැනෙන්නෙ නෑ. මහාභූත ටික ප‍්‍රසාදයෙ වදින්නම ඕන. වැදුනහම මහාභූතයන්ගෙ තියෙන වණ, ගන්ධ, රස කියන කොටස්වලින් රස කොටස උදුරලා අරගෙන රසයක් හදලා හිතට වි`දින්න සලස්වනවා. මහා භූත වල තියෙන රස කලාප ටික නෙමෙයි. ඒක උදුරලා අරගෙන හදන රසයක්. ඒ නිසයි කෙනා කෙනාට දැනෙන රසයෙ වෙනසක් තියෙන්නෙ එකම කෑමක වුනත්.
චක‍්‍රවර්ති රජ කෙනෙකුට රස නහර සත්සියයක් පිහිටලා තියෙනවලූ. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට දැනෙනවට වඩා සියගුණයක් වැඩිපුර රසය දැනෙනවා කියනවා, එයාගෙ කර්මයට. එබඳු රසයක් හදලා දෙන්න පුළුවන්කම තියෙන එකම අග්ගලාවක් අපිට ඒ රසය දෙන්නෙ නෑ. චක‍්‍රවර්ති රජතුමාට වැඩියෙන් රසය දෙනවා. හේතුව රස රූපය ඇති කිරීමේ හැකියාව දිවේ තියෙන නිසා. දිවෙන් උපද්දපු ඒ රස රූපෙටයි ඒ රජතුමා බැඳෙන්නෙ. අපේ මට්ටමට උපද්දපු රස රූපෙටයි අපි බැඳෙන්නෙ. මහා භූතය උපකාරක ධර්මයක්. නමුත් අවස්ථාවට තමන්ගෙ ආයතනය හරහා උපද්දපු දේ මිසක අපිට හම්බවෙලා තියෙන්නෙ අපේ ආයතනයට හමු නොවුන දෙයක් ගැන අපි දන්නෙ නෑ.
ඕකම තමයි මං ඔය ඇහැට පෙනෙන එකටත් කියන්නෙ. එකම වර්ණ සටහන දැනුත් ඇති අපි දන්නෙ නෑ. මට පේන හැඩතලම ද ඔය පින්වතුන්ටත් පේන්නෙ කියලා. ඔය පින්වතුන්ට පේන දේම ද මට පේන්නෙ කියලා කියන්න බෑ. ඔය කියන්නෙ වර්ණ අන්ධතාවය කියලා එකක් ගැන. අපි කොළ පාටයි කියන අරමුණම කෙනෙකුට රතු පාටට පේනවා. සමහරුන්ට රතු පාට පේන්නෙ නෑ. රූපය පෙනෙනවා වර්ණ පිළිබඳ අන්ධතාවක් තියෙනවා. මම කියන්නෙ බාහිර තියෙන පාට නම් පෙනෙන්නෙ, තියෙන දේ නම් පෙනෙන්නෙ, එකම වණය කෙනෙකුට දෙආකාරයකට පෙනෙන්නෙ කොහොමද? වර්ණ අන්ධතාවය කියන්නෙ ඇහේ ස්නායුවල දෝෂයක්. යථාර්ථ වශයෙන් බැලූවොත් කර්ම දෝෂයක්.
මේ ආයතන බාහිරයි කියලා අපිට හිතුනට ආධ්‍යාත්මික ආයතන ටිකෙන් උපද්දපු - අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඇහැ නැතිනම් රූපයක් ගැන මිම්මක් තියෙයිද? බාහිරයි කියලා තර්ක කරන්න හරි රූපයක් ගැන දැනුමක් එන්නෙ ඇහැ හරහානෙ. ඇහැ නැත්නම් තිබුන එකක්මයි හම්බවෙන්නෙ කියලා තර්ක කරන්න මිම්මක් තියෙයිද අපිට. නෑ. තියෙන ශබ්දයක් ඇහෙන්නෙ කියලා හරි ශබ්දය ගැන තර්ක කරන්න මිම්මක් හම්බවුනේ කන නිසයි. ඒ වගේ දිව නැත්නම් රසයට මිමි නැහැ.
ගන්ධ රූපය කියන එක උපද්දන්නෙ නාසයෙන්. කයට දැනෙන පොට්ඨබ්බය මහා භූත වුනත් ඒ වෙලාවෙදී මහා භූතයන්ගේ තියෙන පඨවි ගතිය දැනෙන්නෙ කාය ප‍්‍රසාදය හරහායි අපිට. මහා භූතයන්ගෙ නෑ සීතල මහා භූත, උණුසුම් මහාභූත මේ කයට සාපේක්ෂවයි පඨවි ධාතුවෙ ගති වෙනස්කම් තේරෙන්නෙ.
හිත කියන එක කලම අවිද්‍යා, කම, තණ්හාවන්ගෙන් යුක්තයිනෙ. ඒ අවිද්‍යා කර්ම තණ්හාවෙනුත්, කන බොන ආහාරයන්ගෙනුත් උදවු ලබලා ගත්ත රූප නිමිති, ශබ්ද නිමිති, ගන්ධ නිමිති, රස නිමිති, තමයි මනෝ විඤ්ඤාණයෙන් අපිට ධම්මායතනය හරහා ලැබෙන්නෙ. ඒවට අනුබද්ධවමයි තව යමක් අපි හිතනවා කියලා හිතුවනම් මේ ස්පර්ශ ආයතන පහෙන් සම්බන්ධ කරගත්ත දේවල් අනුවමයි ගොනු කරලා අපි හිතන්නෙ. ඒ විදියට හිතට පහළ වෙන දේවලූත් අවිද්‍යා, කම, තණ්හා, ආහාර.
ඔය පින්වතුන්ට දකින්න පුළුවන් කමක් තියෙන්න ඕන මේ පෙනෙන රූපය හැදිලා තියෙන්නෙ බාහිර දේකින් කියලා හිතන්නෙ නැතුව - ඕකෙන් හොඳට පෙන්නනවා එක සිද්ධියක්, බඹයක් පමණ ශරීරය තුළින් ලෝකය දකින්න කියන සිද්ධිය - ආධ්‍යාත්මික හේතු නිසා ඇහැ හැදිලා ඒ ඇහෙන් උපද්දපු යමක් නම් අපිට පෙනෙන්නෙ, අපිට බාහිර දෙයක් හම්බවෙලා තියෙනවද? අපි හම්බකරගත්ත දෙයින් අපි ජීවත් වෙලා තියෙන්නෙ. ‘කම්මස්ස - කොම්හි කම්ම යොනි කම්මබන්ධු කම්ම පටිසරණා.’ කර්මය උත්පත්ති කොට නෑදෑකොට පිහිටකොට පිළිසරණ කොට පවතිනවා. යම් කර්මයක් හොඳට හෝ නරකට හෝ කළොත්, ඒකෙ විපාක තමන්ටම වි`දින්න වෙනවා.
සමහර පේ‍්‍රත ආත්ම තියෙනවා ඇහින් බලනකොට ජලය පේන්නෙ නෑ. පේන්නෙ ලේ සැරව වගේ. ඒ දිහාම වෙනත් කෙනෙක් බැලූවම එයාට පේනවා වතුර කියලා. කර්මයට ඔය ප‍්‍රසාද ටික වෙනස් වුනොත්, වතුර ටික ලේ
සැරව වගේ පෙනෙනවා වුනත්, ඒ වතුර ටිකම අපිට පෙනෙනවා වතුර කියලා. කර්මය වෙනස් වුන කෙනාට ඒක පෙනෙන්නෙ ලේ සැරව වගේ. දැන් වතුර ටිකක් පොවාගන්න පුළුවන් වෙයිද එයාට. තමන්ට පිහිට, තමන්ට පිළිසරණ තමන්ගෙ කර්මය. එයාගෙ කර්මයම වෙනස් වෙලා, වතුර පෙනෙන ඇහැක් හදලා දුන්නොත් විතරයි එයා ඒක බොන්නෙ. නැත්නම් පොවන්න බෑ. අපි හිතාගෙන ඉන්නෙ අම්මා, තාත්තා, නෑදෑයො තමයි අපිට පිහිට පිළිසරණ කියලා. නෑ කර්මයයි අපිට පිහිට පිළිසරණ.
ලෝකෝත්තර කියන්නෙ, ලෝකය කියන කාරණාව අතහැරලා බඹයක් පමණ ශරීරය තුළින් ලෝකය හටගෙන නිරුද්ධ වෙන බව දකින දර්ශනය. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම කියන මේ ආරම්මණ අවිද්‍යා, කම, තණ්හා, ආහාරයන්ගෙන් හැදුනා කියනකොට ඔන්න ඔය ටික දැනගෙන තියෙන්න ඕනෙ.
‘අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති’
පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියලත් දකින්න ඕන. ඇහෙන් බලන නිසා ඇහෙන්මයි මේ රූ සටහන උපද්දලා පෙන්නන්නෙ කියලා දැක්කොත්, දකින්න කලින් තිබුනා නෙමෙයි. දැක්කට පස්සෙ තියෙනවා නෙමෙයි, අවස්ථාවට උපද්දපු දේකුයි පේන්නේ කියන එකත් දකින්න ඕනෙ. මම ඕකට කියන්නෙ මිරිඟුව තියෙන තැනක ජලය වගේ පේනවා නම් අපිට පෙනෙන ජලය වගේ රූපය ඇහෙන් හදපු එකක් මිසක ඒක අර නලියන මිරිඟුවේ තියෙන එකක් නෙවෙයි. ඒ නලියන මිරිඟුවත් ඕන, මේ ඇහැත් ඕන, හිතත් ඕන ජලය වගේ රූපෙ උපද්දන්න. ඒ නිසා අපිට හම්බවුන ඒ රූපෙට කියන්න වෙන්නෙ අවිද්‍යා, කම, තණ්හා, ආහාරයන්ගෙන් හැදුනෙ කියලා. ජලය වගේ පෙනෙන රූපෙ ස්වභාවය තමයි ඇහෙන් බලපු නිසාම පෙනෙන බව. එතකොට දකින්න පෙර තිබුනා නෙමෙයි. ඇහින් බලන නිසාමයි පෙනෙන්නෙ. දැකීමෙන් පස්සෙ තියෙනවා නෙමෙයි. ඉතුරු නැතුව නැතිවෙනවා.
ඒ වගේ මේ ඇහැට පෙනෙන රූපාරම්මණයෙ යථාභූත ඥාණය කියලා කියන්නෙ, දකින්න පෙර තිබුනා නෙමෙයි. මහාභූත තියෙන තැනක ඇහැ නිසයි මෙබඳු සටහනක් හදලා පෙන්නන්නේ, කියන එක එයා දන්නවා. අපි බත් උයාගෙන කනවා වගේ, තේ හදාගෙන බොනවා වගේ, රූප හදාගෙනයි පරිහරණය කරන්නෙ. ඇහැ අහකට ගන්නකොට දැකපු දේ තියෙනවා නෙමෙයි. නමුත් ඇහැට නැවත එබඳු ධාතුව ගැටුනොත්, එබඳු රූපයක් හදන්න පුළුවන් හේතුව තියෙනවා.
හැම වෙලාවෙම ධාතු නානත්වය නිසා සංඥා නානත්වයක් පහළ වෙනවා. සංඥා නානාත්වය නිසා ධාතු නානත්වයක් වෙන්නෙ නෑ. ඒ බව හොඳට දකින්න. අපි කියමු මිදි, අඹ, කෙසෙල් ගෙඩි කියන තුන එකට එකතු කරලා බීමක් හැදුවොත්, ඒ බීම බොනකොට අපිට යම් රසයක් දැනෙයි. ඒ පළතුරු වර්ග තුනම එකතු වුනාම ඒ දැනෙන රසය සිහිකරලා ඒ රසය මිදි වලින් ගන්න උත්සාහ කළොත් ලැබෙයිද? අඹ වලින් ? කෙසෙල්ගෙඩි වලින්? ලැබෙන්නෙ නෑ. ඒ තුනම එකතු වුනාම මේ පැත්තට ඵලයක් එනවා, ඒ වර්ග එකකටවත් අයිති නැති. එකක් එකකුත් නෙමෙයි, ඔක්කොමත් නෙමෙයි, ඒවා නැතුවත් නෙමෙයි. ඒවා නිසාම රසයක් ලැබිලා තියෙනවා. - හේතු නිසා හටගත්ත ඵලය දැන් හේතු ටිකේ නෑ - මේ රසය සිහිකරලා එයාට මිදි ගෙඩියට හෝ අඹ ගෙඩියට හෝ කෙසෙල් ගෙඩියට හෝ අත දාන්න බැරිවෙන්න ඕන.
රසය සිහිකරලා ආයෙත් මෙහාට අත දානව කියන්නෙ ආයෙත් හේතු ටික හදනවා. අපේ මේ රස තණ්හාව තිබුනොත් වෙන්නෙ මොකක්ද? එයා අඹයි, කෙසෙලූයි, මිදියි එකතු කරලා ආයෙත් මේ රසය හදනවා. හදලා ආයෙත් මේ රසය තියෙන්නෙ මෙහෙ කියලා ආයෙත් එකතු කරනවා. එකතු වුන නිසාමයි හැදෙන්නෙ මේ ඵලය හේතුවෙ නෑ කියලා එයාට තේරෙන්නෙ නෑ. ඒ වගේ ඇහැ, රූප, චක්ඛු විඤ්ඤාණ කියන තුන්දෙනා නිසා අපිට මෙබඳු සටහනක් පෙනෙනවා. ඒ පෙනෙන්නෙ ඇහැ උදවු කරලා රූපය හදලා, ඇහැයි රූපයයි දෙන්නා නිසා හිත ඉපදිලා, අවස්ථාවටත් හැදෙන්නෙ එහෙමයි. තුන්දෙනා ඔවුනොවුන්ට උපකාරීව උපස්ථම්භකව අවස්ථාවටයි හැදෙන්නෙ. හැදිලා මෙහෙම රූපයක් පේනවා. මේ පෙනෙන රූපය ඇහැට අයිතිත් නෑ. රූපෙට අයිතිත් නෑ. හිතට අයිතිත් නෑ. පෙනෙන රූපය හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් දැකපු එක තියෙනවා කියලා හොයන්න ගියාම ආයෙත් ඇහැයි, රූපය හැදෙන්න හේතුවුන ධාතුවයි, සිතයි එකතු කරන එක කරන්නෙ. ආයෙ මේ වගේ රූපයක් හැදෙනවා. ආයෙත් පේනවා. ඔහොම තමයි මේ චක‍්‍රය යන්නෙ.
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.
සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!
තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!
0 Comments