දුතිය චේතනා සූත්‍රය 3

දුතීය චේතනා සූත‍්‍රය :  03 කොටස

ඇස් ඉදිරිපිටට එන රූපාරම්මණයෙ යථාභූත ඥානය ගඨීත වූ ලෝකෝත්තර සම්මා දිට්ඨිය නැහැ. නමුත් පේන දේට චෙතෙති, පකප්පෙති, හිතනවා, හැබැයි හොඳට හිතන්නෙ. ඒත් පුණ්‍යාභි සංඛාරයක් වෙනවා. ජරා මරණයන්ගෙන් මිදිලා නැහැ. හිතනවා, නරක විදියට හිතන්නෙ. අපුණ්‍යාභි සංඛාරයක් වෙනවා. ජරා මරණයන්ගෙන් මිදිලා නෑ. හොඳට හිතපු එකේ විපාකයක් හැටියට මනුෂ්‍යයෙක්, බ‍්‍රහ්මයෙක් වෙන්න පුළුවන්. නරකට හිතපු එකේ විපාක හැටියට දුගතියට යන්න පුළුවන්. හිතන්නෙත් නැහැ. කල්පනා කරන්නෙත් නැහැ. නමුත් ඔය මට්ටමට කෙනෙක්ගෙ අවිද්‍යාව තියෙනවානම් ආනෙඤ්ඡුාභි සංඛාර මට්ටමට යන්න පුළුවන්. නමුත් ඒ තුන් දෙනාම ජරා මරණයන්ගෙන් මිදිලා නැහැයි කියන, එක තැනකට එනවා.

එහෙනම් මේ ස්පර්ශ ආයතන හය ඇතුළෙ රූපාරම්මණ, ශබ්දාරම්මණ, ගන්ධාරම්මණ, රසාරම්මණ, පොට්ඨබ්බාරම්මණ, ධම්මාරම්මණ කියන මේ ආරම්මණ හයේ කුමන ආකාරයකට හෝ ප‍්‍රතිචාරයක් දැක්වුවොත් බේරෙන්න පුළුවන් කමක් නැහැ. හොඳටවත්, නරකටවත් හිතලා කල්පනා කරලා හෝ නොසිතා කල්පනා නොකර හෝ හිටියත්, උත්සාහවත් වුනත් උත්සාහවත් නොවුනත් හරියන්නෙ නැහැ. අනුසය ධර්මයෝ අනුසය වෙනවාමයි.

අනුසය ධර්මයෝ අනුසය නොවෙනවා නම් හිතුවත්, කල්පනා කළත් ප‍්‍රශ්නයක් නැහැ. නොසිතුවත් කල්පනා නොකළත් ප‍්‍රශ්නයක් නැහැ. අනුසය ධර්මයෝ අනුසය නොවෙන විදියට තිබුනොත් විඤ්ඤාණය පිහිටන්නේ නෑ. දැන් අපිට උත්තරයක් හම්බවුනා හිතුවත් කල්පනා කළත්, නොසිතුවත් කල්පනා නොකළත් අනුසය වශයෙන් පවතිනවා නම් ආරම්මණයේ විඤ්ඤාණය පිහිටන බව මම මතක් කළානෙ. ඒ වගේ ම අනුසය කියන එකට වැට මතක් කළා මම, ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. එහෙනම් රූපාරම්මණ, ශබ්දාරම්මණ ආදී වූ මේ ආරම්මණ හයේ අනුසය කියන ධර්මතාවය දුරු කරන්න පුළුවන් සම්මා දිට්ඨිය මොකක් ද කියන එක දැන් අපි හඳුනාගන්න  ඕන.

ඒ ආරම්මණ අරබයා කොහොම හිත තිබ්බොත්ද, කොහොම දැනුමක් ආවොත්ද අපිට අනුසය ධර්මයෝ අනුසය නොවෙන්නේ? විඤ්ඤාණය අරමුණේ නොපිහිටන්නේ? නාම රූපයට බැස ගැනීම නැතිවෙන්නේ? කියන කාරණාව දැනගන්න  ඕන වෙනවා.

අපි පෞද්ගලික අදහස් පසෙක තබා දුතිය චේතනා සූත‍්‍රයට අදාලව එකතු කරමු, මජ්ක්‍ධිම නිකායෙ මහා සළායතනික සූත‍්‍රය. සළායතනික සූත‍්‍රයෙ, බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා ‘චක්ඛුං භික්ඛවෙ ජානං පස්සං
යථාභූතං, රූපං භික්ඛවෙ ජානං පස්සං යථාභූතං’ යම්කිසි කෙනෙක් ඇහේ යථා භූත ස්වභාවය දන්නවා නම් දකිනවා නම්, රූපයෙ යථාභූත ස්වභාවය දන්නවා නම්, දකිනවා නම් කියලා.

මේ පෙනෙන රූපායතනයෙ යථා භූත ස්වභාවය දන්නා වූ දක්නා වූ බවක් වේ නම් ඒ යථා භූත දශනය සම්මා දිට්ඨි. ඒ යථා භූත ස්වභාවය දැකීම සඳහා යම් සංකප්පයක් වේ නම් ඒ සම්මා සංකප්ප. ඒ යථා භූත ස්වභාවය දැකීම සඳහා යම් උත්සාහයක් වේ නම් ඒ සම්මා වායාම, ඒ රූපාරම්මණයේ යථා භූත ස්වභාවය දැන ගැනීම සඳහා යම් සිහියක් යොදයි නම් ඒ සම්මා සතිය. ඒ රූපාරම්මණයේ යථාභූත ස්වභාවය දැන ගැනීමට යම් සමාධියක් උදවු කරයි නම් ඒ සම්මා සමාධිය. වාචා, කම්මන්ත, ආජීව කියන ධර්මතා ටිකේ පිහිටලයි ඉන්නෙ. ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය සෘජුවම පෙන්නුවා. 

රූපාරම්මණයෙ යථාභූත ස්වභාවය, ඇත්ත ඇති හැටිය දකිනකම සම්මා දිට්ඨි. ඒ සම්මා දිට්ඨිය නැති හැම තැනකම අනුසය කියන ධර්මතාවය තියෙනවා කියලා දකින්න. ඒ ඒ අනුසය මට්ටමට විඤ්ඤාණය පිහිටනවාමයි.  ඒකෙ අඩු වැඩිකම් තියෙන්න පුළුවන්. පුණ්‍යාභි හෝ අපුණ්‍යාභි හෝ ආනෙඤ්ජාභි වෙන්න පුළුවන්. නමුත් ජරා මරණයන්ගෙන් මිදිලා නැහැ.

‘සොතං භික්ඛවෙ, ජානං පස්සං යථා භූතං සද්දා භික්ඛවෙ ජානං පස්සං යථා භූතං’

මේ සූත‍්‍රයෙ අර්ථය තෝරලා එකතු කරගන්න. මජ්ක්‍ධිම නිකායෙ මහා සළායතනික සූත‍්‍රය. මේ මගේ පෞද්ගලික අදහස් නෙමෙයි කියන්නෙ. සූත‍්‍රයෙන් සූත‍්‍රය ගැලපීමක්. යම් කිසි කෙනෙක් කනේ, ශබ්දයෙ යථාභූත ස්වභාවය දන්නවා නම්, දකිනවා නම් ඒ දැකීමට කියනවා සම්මා දිට්ඨි. ඒ ශබ්දයේ යථා භූත ස්වභාවය දැකීම පිණිස යම් හිතන බවක් වෙයි නම් ඒ එයාගෙ සම්මා සංකප්පය. ඒ පිළිබඳ යම් උත්සාහයක් වෙයි නම් ඒ සම්මා වායාම. සිහිය සම්මා සති. සමාධිය සම්මා සමාධි. වාචා, කම්මන්ත, ආජීවයෙ පිහිටලායි ඉන්නෙ.

ඊට පස්සෙගන්ධාරම්මණයක්, රසාරම්මණයක් පොට්ඨබ්බාරම්මණයක්, ධම්මාරම්මණයක් අරබයා ඒ ඒ ආරම්ණයේ යථාභූත ස්වභාවය දකිනවා නම්, ඒ දැකීමට කියනවා සම්මා දිට්ඨි. ඒ ඒ ආරම්මණයේ ඇත්ත ඇති හැටිය දකින්න හිතන බවක් තියෙයි නම් ඒක එයාගෙ සම්මා සංකප්පය. ඒ ආරම්මණයන්ගේ යථාභූත ස්වභාවය දකින්න යම් උත්සාහයක් තියෙයි නම් ඒක එයාගෙ සම්මා වායාමය. යම් සිහියක් තියෙනවා නම් සම්මා සති. ඒ යථා භූත ස්වභාවය දකින්න යම් චිත්ත ඒකාග‍්‍රතාවයක් තියෙනවා නම් ඒ සම්මා සමාධිය වාචා, කම්මන්ත, ආජීවයෙ පිහිටලයි ඉන්නෙ.

බුදුරජාණන් වහන්සේ චේතනා සූත‍්‍රයෙම අනික් පැත්තට පෙන්නනවා. ‘යතො ච ඛො භික්ඛවෙ, නො චෙ ව චෙතෙති, නො ච පකප්පෙති, නො ච අනුසෙති, ආරම්මණ මෙතං න හොති විඤ්ඤාණස්ස ඨීතියා. ආරම්මණෙ අසති පතිට්ඨා විඤ්ඤාණස්ස න හොති. තදප්පතිට්ඨිතෙ විඤ්ඤාණෙ අවිරුළ්හෙ නාම රූපස්ස අවක්කන්ති න හොති. නාම රූප නිරොධා සළායතන නිරොධො, සළායතන නිරොධා ඵස්ස නිරොධො, ඵස්ස නිරොධා වේදනා නිරොධො, වේදනා නිරොධා තණ්හා නිරොධො, තණ්හා නිරොධා උපාදාන නිරොධො, උපාදාන නිරොධා භව නිරොධො, භව නිරොධා ජාති නිරොධො, ජාති නිරොධා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුජ්ඣන්ති. ඒව මෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.’

යමෙක් නොසිතා ද, කල්පනා නොකෙරේද, අනුසය වශයෙන් ද, නොපවතී ද, අරමුණේ විඤ්ඤාණය නොපිහිටයි. එහෙම වුනාම තියෙන ලක්ෂණය තමයි, දැකපු දේ දැකීමෙන් පස්සෙ නිරුද්ධයි කියන එක එළඹ සිටිනවා. හිතන්නවත්, ප‍්‍රාර්ථනා කරන්නවත්  ඕනෙ නැහැ. අහවල් තැන තියෙන්නෙ කියලා සිහි කරලා යන්න බැහැ. සිහි කරන එක තමන්ගේ මනසයි කියලා සිහිවෙනවා මිසක බාහිර තියෙන එක කියලා හිතෙන්නෙ නැහැ. 

කන්නාඩියට එබුනොත් මූණ පේනවානේ. පැත්තකට ගියොත් කන්නාඩියෙ ඡුායාව නෑ. නමුත් ඒ දැකපු දේ සිහි කරන්න බැරිද? සිහි කරන්න බැරි නෑ පුළුවන්. සිහි කරද්දිත් සිහිවෙන දේ තියෙනවා නෙමෙයි කියන නුවණ එළඹ සිටිනවා. දැන් අපට සිහි කළොත්, සිහිකරන දේ ඇති බවට හිටිනවා නේද? ඒ තමයි විඤ්ඤාණය පිහිටන බව. සිහි කරන්න බැරි නෑ පුළුවන්. සිහි කරද්දිත් විඤ්ඤාණය නොපිහිටියා කියන්නෙ, ඇති බවට හිතේ හැපිලා හිටින්නෙ නෑ. එතකොට දකින්න පෙර තිබුනා නෙමෙයි. දැක්කට පස්සෙ තියෙනවා නෙමෙයි. අවස්ථාවට හටගෙන නැතිවෙනවා කියන ධර්මතාවය ඉබේමයි එළඹ සිටින්නෙ.

‘යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරොධ ධම්මං විරජං වීතමලං ධම්ම චක්ඛුං උදපාදි’ කියලා කියන්නේ මේ ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයට. හරියට රූපාරම්මණයෙ ලෝකෝත්තර දශනය පිහිටියොත් ‘දිට්ඨෙ දිට්ඨ මත්තං’ දැකපු දේ දැකීමෙන් පස්සෙ නිරුද්ධයි කියන තැනට එනවා ඉබේම.

ඔය කිවුවෙ ඵලය ගැන. ඵලය ගැන හිතලා වැඩක් නෑ. ඵලය ලබා ගන්නට කළ යුතු දේ කළ යුතුයි. අරමුණේ විඤ්ඤාණය නොපිහිටියා වෙන්නට නම් අනුසය නැතිවෙන්නට  ඕනෙ. අනුසය නැතිවෙන්නට නම් ලෝකොත්තර
මාර්ග දශනය එළඹ සිටින්නට  ඕන. ලෝකොත්තර මාර්ග ඥාන දශනය කියලා කිවුවෙ, මහා සළායතනික සූත‍්‍රයෙ තියෙන විදියටම රූපාරම්මණයේ යථා ස්වභාවය දන්නා වූ දක්නා වූ, ශබ්දාරම්මණයේ, ගන්ධාරම්මණයේ, රසාරම්මණයේ, පොට්ඨබ්බාරම්මණයේ, ධම්මාරම්මණයේ යථාභූත ස්වභාවය දන්නා වූ දක්නා වූ නුවණක් පහළ වෙන්නට  ඕන.

තමන්ගේ ඇස් ඉදිරිපිටට යම් රූපාරම්මණයක් එනකොට, ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය එළඹ නොසිටින තාක් ඊට ප‍්‍රතිපක්ෂව දකින්න, හිතුවත් කල්පනා නොකළත් අනුසය කියන එක අනුසය වෙනවාමයි. දැක්කට පස්සෙ දැකපු දේ ඉතුරු වෙනවා කියන එක තාම නවත්තන්න බෑ කියන එක දකින්න. හිතලා  ඕක කරනවා කියලා එකක් වෙන්නෙ නෑ. ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයකින් විතරයි විඤ්ඤාණය අරමුණේ නොපිහිටන්නේ.

දැන් ඔන්න අනුපිළිවෙලින් උත්තර ටික අපිට ලැබෙන්න  ඕනෙ. මේ ආරම්මණයන් කෙරේ හිතුවොත්, කල්පනා කළොත්, ඇත්ත නොදැක්කොත් විඤ්ඤාණය පිහිටනවා. විඤ්ඤාණය පිහිටියොත් තියෙන ලක්ෂණය තමයි, දැකපු අහපු දේවල් ඇති බවට අපේ මනසෙ හිටිනවා. ආයුහන සංඛාරා කියලා කියන්නේ, කර්ම රැුස්වෙන ස්වභාවය ඉතිරිවෙනවා. නැත්නම් දකින්න පෙර තිබුනා කියන දේමයි පෙනෙන්නෙ, පෙනෙන දේ තියෙනවා කියන මට්ටමක් අපිට හම්බවෙනවා. එහෙම වුනාම විඤ්ඤාණය නාම රූපයට බැසගෙන ආයතන හැදිලා නැවත ජරා මරණ වෙනවා කියන පරියාය වෙනස් වෙන්නෙ නෑ. හිතන්නෙත් නෑ. කල්පනා කරන්නෙත් නෑ. අනුසය වශයෙන් ද පවතින්නෙ නෑ. එහෙම වුනොත් අරමුණේ විඤ්ඤාණය පිහිටන්නෙ නෑ. ඒ කියන්නේ දැකපු දේ දැකීමෙන් පස්සෙ ඉවරයි. අහපු දේ ඇහීමෙන් පස්සෙ ඉවරයි කියන එක, නිරුද්ධයි කියන එක දැනෙනවා. හිතනවා නෙවෙයි දැනෙනවා. එතකොට දකින්න පෙර තිබුණා නෙවෙයි, දැක්කට පස්සෙ තියෙනවා නෙවෙයි, අවස්ථාවට ද උපද්දවාගෙනයි පරිහරණය කරන්නේ කියන මට්ටම දැනෙනවා.

‘යං කිංචි සමුදය ධම්මං - සබ්බං තං නිරෝධ ධම්මං’ කියන තැනකින් ජීවිතේ පවතිනවා. විඤ්ඤාණයාගේ පිහිටීමක් නෑ. නාම ධර්ම අරමුණු කරලා ඒ වස්තු හොයා ගෙන යනවා කියලා එකක් වෙන්නෙ නෑ. ආයතන හැදෙනවා, ජරා මරණ දුක එනවා කියලා එකක් වෙන්නෙ නෑ.

මතු සම්බන්ධයි!

Post a Comment

0 Comments