දුතීය චේතනා සූත‍්‍රය : 04 කොටස
අරමුණේ විඤ්ඤාණය නොපිහිටන්න නම්, අනුසය නැතිවෙන්න නම් ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයක් අවශ්‍ය වෙන බව අපි මතක් කළා. ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය කියන්නෙ මොකක් ද?
රූපාරම්මණ, ශබ්දාරම්මණ, ගන්ධාරම්මණ, රසාරම්මණ, පොට්ඨබ්බාරම්මණ, ධම්මාරම්මණ කියන ආරම්මණයන්ගේ යථාභූත ස්වභාවය දන්නා දක්නා බව. වෙන මොනම අදහසක්වත් ගන්න එපා නිවන් මග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා, ඉන්ද්‍රියන්ට හම්බවෙන මේ ධර්මතාවන්ගේ ඇත්ත ඇති හැටිය දකින්න. දැන් නැවත ප‍්‍රශ්නයක් ඇතිවෙනවා. ඇත්ත ඇති හැටිය දකිනවා කිවුවෙ මොකක් ද?
අරමුණේ විඤ්ඤාණය පිහිටියොත් අවිද්‍යාව අනුසය වෙනවා, විඤ්ඤාණය පිහිටනවා, නාමරූප දෙක ඇති වෙනවා කියන්නෙ සමුදය සත්‍යය, ප‍්‍රතිඵලය තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - දුක. චතුරාර්ය සත්‍යයේ දුකත් දුක්ඛ සමුදයත් දෙක තමයි ඔය.
අරමුණේ විඤ්ඤාණය පිහිටන්නෙ නැත්නම් ඒකට හේතුව ලෝකෝත්තර සම්මා දිට්ඨිය. අරමුණුවල යථාභූත ස්වභාවය දැකීම සම්මා දිට්ඨිය. ඕක තමයි මාර්ගය, ඵලය තමයි නිවන. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුජ්ඣන්ති.
මම මේ තව පරියායකින් කියන්නෙ චතුරාර්ය සත්‍යයමයි - ඒ යථාභූත ඥාණය නැත්නම් සම්මා දිට්ඨිය කියන්නෙ මොකක් ද කියලා අපි දැනගන්නට ඕන. ඒ සඳහා ද අපි පෞද්ගලික අදහස් නැතුව ති‍්‍රපිටකයේ ම එන බුද්ධ වචනයම ගනිමු. පටිසම්භිදාමග්ගයේ ඥාන කථාවල පහළොස්වෙනි සහ දහසයවෙනි ගෝචර නානත්ව ඥානය සහ වස්තු නානත්ව ඥානය.
ගෝචර නානත්ව ඥාණය ගනිමු. රූපාරම්මණ, ශබ්දාරම්මණ, ගන්ධාරම්මණ, රසාරම්මණ, පොට්ඨබ්බාරම්මණ, ධම්මාරම්මණ කියන ආරම්මණයන්ගේ ඇත්ත ඇති හැටිය දකින්න ඕන කොහොමද කියන මිම්ම සඳහන් වෙනවා.
රූපාරම්මණයෙ සම්මා දිට්ඨිය කියන්නෙ මොකක්ද කියලා දැනගන්න ඕන විස්තර ටිකක් තියෙනවා. බුදු රජාණන් වහන්සේ පෙන්නනවා රූපාරම්මණය - බහිද්ධා වවත්ථෙති - හොඳට තීරණය කරන්න ඕන රූපාරම්මණය බාහිර ධර්මයක් බව. අවිද්‍යා සම්භූතං, කම්ම සම්භූතං, තණ්හා සම්භූතං, ආහාර සම්භූතං, අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් හැදුන එකක්ය කියලා දකින්න පුළුවන්කම තියෙන්න ඕන.
‘චතුන්නඤ්ච මහා භූතානං උපාදාය රූපං වවත්ථෙති’. සතර මහා ධාතූන්ගේ උපාදාය රූපයක් බව දකින්න පුළුවන්කම තියෙන්න ඕන. ‘අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති’ - පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙන එකක්ය කියලා දකින්න පුළුවන්කම තියෙන්න ඕන.
රූපායතනය හම්බවෙනකොට මේ ආධ්‍යාත්මික නුවණ තමන්ගෙ පැත්තෙන් පිහිටලා තිබුනොත් ඇහැට පෙනෙන රූපය කියන එක බාහිර එකක්, මහා භූතයන්ගේ උපාදාය රූපයක් - ඒ කියන්නෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර ධාතු එහෙම නෙවෙයි - ඒකද අවිද්‍යාව කර්මය, තණ්හාව, ආහාර නිසා හැදිලා තියෙන්නෙ කියලා දැනගන්නත් ඕනෙ. පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුවම නැතිවෙනවා කියලා දකින්නත් ඕනෙ. ඔය දැකීමට සම්මා දිට්ඨිය කියලා කිවුවා. සම්මා දිට්ඨිය තිබුනොත් අනුසය නෑ. අනුසය නැතිවුනොත් විඤ්ඤාණය පිහිටන්නෙ නෑ. විඤ්ඤාණය නොපිහිටියොත් ආයතන නෑ, නාම රූප නෑ, ජරා මරණ දුක නෑ. ‘යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරොධ ධම්මං’ කියන තැන සාක්ෂාත් වෙනවා. දැකපු දේ දැකීමෙන් පස්සෙ ඉවරයි කියන කාරණාව තමන්ට වැටහෙනවා. දකින්න පෙර තිබුනා නෙවෙයි. දැකීමෙන් පස්සෙ තියෙනවා නෙමෙයි. හටගෙන නැතිවෙනවා කියලා හිතන්න ඕන නෑ. ඒ විදයට ම හැෙ`ගනවා. දකින්න පෙරත් තිබුනා. තියෙන දේම පේනවා. දැකීමෙන් පස්සෙත් තියෙනවා කියලා හිතුවත් - ඒත් පේන්නෙ අර විදියටමයි. අවස්ථාවට උපද්දගෙනයි පරිහරණය කරන්නෙ කියන එක ජිවිතේ වෙලා.
දැන් අපි කරන්නෙ ආර්යයන් වහන්සේලාගේ වචන කතා කරමින් ලෝකෙ ජීවත් වෙනවා. වචන විතරක් ලෝකෝත්තර. වචන වලින් වැඩක් නෑ. අර්ථයයි අපිට ඕන. ඒ නිසා ඔය වචනවල හිර වෙන්න එපා. ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය පිළිබඳ පෙළ දහම අපි දැනගත්තා. රූපාරම්මණය බාහිර බව, උපාදාය රූපයක් බව, පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැතිවෙන බව දකින්න ඕන.
දැන් කල්‍යාණ මිත‍්‍ර ඇසුරක් ඕන, සද්ධර්ම ශ‍්‍රවණය ඕන, කරූපාරම්මණය බාහිරයි කියන්නෙ කුමන කාරණයක් නිසා ද?
අවිද්‍යා, කම, තණ්හා, ආහාරයෙන් හටගත්තා කියන්නෙ කුමන කාරණයක් නිසාද?
උපාදාය රූපයක් කියන්නෙ ඇයි? ඒක දැනගන්නෙ කොහොමද?
පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිවම නැතිවෙනවා කියන කාරණාව වෙන්නෙ කොහොම ද?
කල්‍යාණ මිත‍්‍ර ඇසුරින්, සද්ධර්ම ශ‍්‍රවණයෙන් ඔය ටිකේ අර්ථය තේරුම් ගත්තට පස්සෙ, තමන් තුළින් එකතු වෙන්න ඕන යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප‍්‍රතිපත්තිය කියන ටික. එතකොටයි අර්ථය දකින්න පුළුවන් වෙන්නෙ. ඒ දැකීම සම්මා දිට්ඨි. ඒ සම්මා දිට්ඨියටයි අනුසය දුරුවෙන්නෙ. අනුසය දුරුවෙනකොට විඤ්ඤාණය නොපිහිටනවා.
දුතිය චේතනා සූත‍්‍රය සහ මහා සළායතනික සූත‍්‍රය කියන සූත‍්‍ර දෙකම ඇසුරින් සම්මා දිට්ඨියේ ලක්ෂණ ටිකයි මම විස්තර කළේ. ඔය ලක්ෂණ ටිකේ අර්ථය පුරවන්න ගියාමයි අද විවිධත්වයකට යන විදියට මාර්ගය බෙදිලා තියෙන්නෙ. ඔන්න ඔය අර්ථය පෙන්නන තැනයි, දෝෂෙ තියෙන්නෙ. ‘අත්ථ මඤ්ඤය, ධම්ම මඤ්ඤය ධම්මානුධම්ම පටිපන්නො හොති’ අර්ථය දැනගෙන, ධර්මය දැනගෙන ධර්මානුධර්ම ප‍්‍රතිපත්තියේ හැසිරෙන්න ඕන. ධර්මය දැනගත්තා කියලා මේ ටික දැනගෙන ඔය පින්වතුන්ට ප‍්‍රතිපදාවේ හැසිරෙන්න පුළුවන් ද?
ඒ කියන්නේ දැන් අපි අහගත්තා අරමුණ වෙනම එකක්, විඤ්ඤාණය පිහිටියාම වෙනම එකක්. එතකොට ජරා මරණ වෙනවා කියලා දැනගත්තා. අරමුණේ විඤ්ඤාණය නොපිහිටන්න නම් නොසිතුවත්, කල්පනා නොකළත් හරියන්නෙ නෑ. අනුසය වශයෙන් පැවතිීමම ප‍්‍රමාණවත් කියලා දන්නවා. අනුසය වශයෙන් නොපවතින්න නම් සම්මා දිට්ඨිය ඕන කියලත් දැනගත්තා. සම්මා දිට්ඨිය කියන්නෙ රූපාරම්මණ, ශබ්දාරම්මණ, ගන්ධාරම්මණ, රසාරම්මණ, පොට්ඨබ්බාරම්මණ, ධම්මාරම්මණ කියන ආරම්මණයන්ගේ ඇත්ත ඇති සැටිය දකින්න ඕන කියලත් දැනගත්තා. ඇත්ත ඇති හැටිය දකිනවා කියලා කියන්නේ මොකක්ද කියන ටිකත් දැනගත්තා රූපාරම්මණය බාහිරමයි, උපාදාය රූපයක්, අවිද්‍යා කර්ම තණ්හා ආහාර හේතුවෙන් හටගත්තෙ, පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුවම නැතිවෙනවා, සනිදස්සනයි කියලත් ගන්න පුළුවන්. ඔය දක්වා ම ආවෙ පෙළ. ඔතන අර්ථය නෑ.
ඔය ටික අහනකොට ම කෙනෙකුට ආශ‍්‍රවයන්ගෙන් හිත මිදෙනවා නම් උග්ඝටිතඤ්ඤ, මාර්ගය අහලා මිදෙනකොට විපටිතඤ්ඤ. දුකත් කියලා, සමුදයත් කියලා මාර්ගයත් කියන්න වුනාම ඤෙය්‍ය ඔය හතරම කිවුවත් බෑ පදපරම. වචනෙ විතරයි තේරෙන්නෙ. පද පරම කොට කියලා කියන්නෙ වචන ටික පුළුවන් එයාට. අර්ථය තේරෙන්නෙ නෑ. පෙළ දහමට විතරක් සීමාවෙනවා අර්ථයට හිත නැමෙන්නෙ නෑ.
ඊළ`ගට ශබ්දාරම්මණය කියන කොට ශබ්දාරම්මණයෙ යථාභූත ස්වභාවය දකින්න ඕන. ශබ්දාරම්මණය ‘බහිද්ධා වවත්ථෙති,’ ශබ්දය බාහිරමයි කියලා දකින්න. ශබ්දය මහා භූතයන්ගෙ උපාදාය රූපයක්. අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගෙන් හැදුන එකක්. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැතිවෙන එකක් කියලා දකින්න ඕන.
ඒ වගේම ගන්ධය, රසය, ස්පර්ශය, ධර්මාරම්මණ කියන ටිකත් එහෙමයි. ‘බාහිරං වවත්ථෙති.’ පොට්ඨබ්බය විතරක් උපාදාය නෙවෙයි. ‘මහා භූතං වවත්ථෙති. අවිද්‍යා කර්ම තණ්හා ආහාර සම්භූතං වවත්ථෙති.’ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙනවා කියලා දකින්න.
ඔය විස්තර ටික තමයි සම්මා දිට්ඨියෙ ලක්ෂණ ටික. ඇහැට පෙනෙන රූපාරම්මණයෙ ඔය ගති ටික හිතේ හැපිලා තියෙන්න ඕන. ශබ්දය ඇහෙන කොට ඔය ගති ටික හිතේ හැපිලා තියෙන්න ඕන. දැන් මම ඔය ගති ටික උගන්වන්නම්. කල්‍යාණ මිත‍්‍ර ඇසුර, සද්ධර්මශ‍්‍රවණය කියනකොට සෘජුවම තියෙන්න ඕන ඔය ටික. ඊට මෙහා ඔක්කොම පෙළ, ඔය පින්වතුන්ට ජීවිතෙන් කරන්න යමක් හම්බවෙන්නෙ එතනින් පස්සෙ. තවම මේ සූත‍්‍රයෙ කරන ටික හම්බවුනේ නෑ.
අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප කියලා මේ වචන ටික ඇහුනොත් මේ කියන බණ වගේමයි කියලා කියනවා. නමුත් මේකෙ විශේෂණය තේරුම් ගන්න කියලා මම කියන්නෙ. මම කියන හින්දා නෙමෙයි. දේශනාවක අපේ ජීවිතයට හරියට ම අදාල තැන ලැබුන ද කියන කාරණාව විමසුවොත් වැදගත් වෙන්නෙ ඒ දේ මිසක අර මතුපිටින් ඇහෙන වචන ටික නෙමෙයි. අපේ ජීවිතයට යොදා ගන්න පුළුවන්, අපිට නුවණ ඇතිකරගන්න පුළුවන් ආහාරයක් ලැබුන ද කියලා බලන්න. ඒ කියන්නෙ මාර්ගය ගැනයි දැනගන්න ඕනෙ.
ඔය වෙනස වටහාගන්න බැරිවුනොත් අපි මුලාවෙනවා. උදාහරණයක් කිවුවොත් අසූවේ දශකයෙ ලෝකෙම පිළිගත් ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයෙක් තමයි ඉන්දියාවේ පහළ වුන කි‍්‍රෂ්ණමූර්ති තුමා. අපේ සමහර ස්වාමීන් වහන්සේලාත් ඒ දර්ශනය පිළිගත් තරම් කොච්චර ද කියනවා නම් පසු වදන් පවා ලියලා තියෙනවා බුදු රජාණන් වහන්සේගේ සතිපට්ඨාන දේශනයට කළ අටුවාවක් බඳුයි කියලා. මතු බුදුවෙන මෙත් බෝසතාණන් වහන්සේ කියලත් කියලා තිබුනා. ඒ තරම් ඒ දර්ශනය බොහොම තිව‍්‍රරයි ගැඹුරුයි. මං ඒකෙන් ටිකක් කියන්නම්.
ඒ කියන්නෙ වචන දිහා බලලා අර්ථ ගන්නවා. ඕකට කියනවා ව්‍යංජන ඡුායාවෙන් අර්ථ ගන්නවා කියලා. වචනෙ දකින පමණකින් ම අර්ථ ගන්නවා. ‘අත්ථි භික්ඛවෙ අත්ථහිතාය පටිපන්නො පුග්ගලො’ මහණෙනි, ආත්මසුවය පිණිස පිළිපන්න පුද්ගලයෙක් ඉන්නවා කියලා වචනෙ ඇහුනගමන් ‘‘ආ....ආත්මයක් ගැන කියලා තියෙනවනෙ බුදු රජාණන් වහන්සේ. ආත්මයක් තියෙනවා තමයි’’ කියලා අදහස ගන්නවා. ව්‍යංජන ඡුායාවෙන් අර්ථ ගන්නවා කිවුවෙ ඕකට.
මතු සම්බන්ධයි!
මේ උතුම් සඳහම් ලිපිය කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන් 0725400094 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් යොමු කරන්න.
දිනපතා මෙවැනි උතුම් සඳහම් ලිපි කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන්ට අපගේ සඳහම් සමූහය සමඟ එක් විය හැක.
https://chat.whatsapp.com/LDw0pu6WqhrFcZFxMuHxJu
මෙවැනි වටිනා සඳහම් ලිපි එකතුවකින් යුතු අපගේ නිල වෙබ් පිටුවට පිවිසෙන්න
pansilmaluwa.lk
තෙරුවන් සරණයි
0 Comments