දුතිය චේතනා සූත්‍රය 2

දුතීය චේතනා සූත‍්‍රය :  02 කොටස

ලෝකෝත්තර මාර්ග ඥානයක් ඇති කරවලා අනුසය නැති කරන්න පුළුවන්. ලෝකෝත්තර මාර්ග ඥානය නැති හැම මට්ටමකම අනුසය කියන ධර්මතාවය දකින්න තියෙන වැට තමයි. කෙළවර තමයි, ලෝකෝත්තර සම්මා දිට්ඨිය. යථාභූත ඥාණය නැති හැම තැනකම අනුසය ධර්මයෝ අනුසය වෙනවා.

ඇස් ඉදිරිපිටට රූපයක් එනකොට ඒ රූපය අනුව හිතනවා. කල්පනා කරනවා ඒත් ඒකෙ යථා භූත ස්වභාවය නොදකිනවා නම්, අනුසය ධර්මයෝ අනුසය වෙනවා. අරමුණේ විඤ්ඤාණය පිහිටනවා. නොසිතනවා, කල්පනා නොකරනවා ඒත් පේන රූපාරම්මණයෙ යථා භූතය දන්නා, දක්නා වූ මාර්ග ඥානයක් පහළ වෙලා නැත්නම්, අනුසය ධර්මයෝ අනුසය වෙනවා. ඒ කියන්නේ පේන දේට හිතුවත් අහුවෙනවා. නොහිතුවත් අහුවෙනවා. ඇත්ත ඇති හැටියෙ නොදන්න කෙනා, හිතුවත්, නොහිතුවත් බේරෙන්න බෑ. ගිනිගොඩ ඇතුළෙ නම් ඉන්නෙ නොපිච්චි ඉන්න උත්සාහවත් වුනත්, උත්සාහවත් නොවුනත් පිච්චෙනවනෙ.

ඇස් ඉදිරිපිටට රූප අරමුණක් එනකොට ඒ අරබයා හිතන්නෙත් නෑ. කල්පනා කරන්නෙත් නෑ. ඇත්ත ඇති හැටියෙ දන්නා, දක්නා නුවණකුත් නෑ. ඒත් අරමුණේ විඤ්ඤාණය පිහිටනවා. අරමුණේ විඤ්ඤාණය පිහිටියොත් නාම රූපයට බැස ගන්නවා.

අරමුණේ විඤ්ඤාණය පිහිටියා කියන එක අපි කොහොමද අඳුනගන්නෙ? පැත්තකට ගියාම දැකපු දේ ඇති බවට අපිට හිතට හොඳට හැපිලා දැනේවි. අරමුණේ විඤ්ඤාණය පිහිටියාම අඳුනගන්න තියෙන ලක්ෂණය තමයි, මොනම හරි දෙයක් ඇහින් දැක්කොත් දැකපු රූපාරම්මණය හිතුවත්, කල්පනා කළත් විස්තර ටිකත් එක්කම ඒ දැකපු දේ තියෙනවා කියලම එයි. විස්තරයක්, කල්පනා කිරීමක් නැතුව විඤ්ඤාණය පිහිටියොත් දැකපු දර්ශනය විතරක් අහවල් තැන තියෙනවා කියලා මතක් කරගන්න පුළුවන් වෙයි.

දැන් තිරිසන්ගත සතෙකුට අපිට වගේ ප‍්‍රඥප්ති නෑනෙ. අහවලා, බඩුමුට්ටු, ගෙවල් දොරවල් කියලා. නමුත් එයාට දැකපු දේ සිහි කරලා එතනට යන්න බැරිද? පුළුවන්. එහෙම පුළුවන් වෙන්නෙ විස්තරයක්, කල්පනාවක් නැතත් ආරම්මණයෙ ඇත්ත නොදන්නාකොට විඤ්ඤාණය පිහිටන නිසා. අරමුණේ විඤ්ඤාණය පිහිටියාම නාම රූප වෙනවා. ඒ නාම ධර්මයට රූපය සිහි කරලා නැවත හොයාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. හොයාගෙන යන්න ගියොත් ආයෙත් ආයතන ටික හැදිලා ස්පර්ශ වෙලා ආයෙත් ජරා මරණ දුක වි`දින්න පුළුවන්කම තියෙනවා.

එතකොට අරමුණේ විඤ්ඤාණය පිහිටියා කියන එක අඳුනගන්න තියෙන ලක්ෂණය තමයි, සිහිකරන විට බාහිර ඇති බවට හිතට හොඳට දැනෙන බව. දැකපු දේ දැකීමෙන් පස්සෙ නිරුද්ධ නොවී දකින්න කලමත් ඒක තියෙනවා. දකින වෙලාවෙදිත් තියෙන දෙයක්ම හම්බ වෙනවා. දැක්කයින් පස්සෙත් ඉතුරුවෙනවා. ඒ තමයි අනුසය වශයෙන් පැවතීමේ ලක්ෂණය. ආරම්මණයෙ විඤ්ඤාණය පිහිටියාම ඇතිවෙන ගතිය මොකක් ද? ඇස් ඉදිරිපිටට හම්බවෙන්නෙ රූපාරම්මණය කියන කොට වර්ණ  සටහන් මාත‍්‍රයක්, චිත‍්‍රයක්, චිත‍්‍රය අරබයා අපි මනෝ විඤ්ඤාණයෙන් ගහක් කියලා, මනුස්සයෙක් කියලා, රන් රිදී කියලා හිතන්නෙ. ආරම්මණයෙ විඤ්ඤාණය පිහිටියාම තමන් හිතපු විස්තර ටික අර රූපාරම්මණයට බැඳෙනවා. ඊට පස්සෙ අපිට ඉතුරුවෙන්නෙ දැකපු ගහක්, මනුස්සයෙක්. එතකොට අපිට මතකෙට ඉතුරු වෙන්නෙ අහවල් තැන ගහක් තිබුනා කියන තැනකින්.

අරමුණ අරබයා සිතුවොත්, කල්පනා කළොත්, අනුසය වශයෙන් පැවතුනොත් විඤ්ඤාණය පිහිටනවා. නොසිතුවත් කල්පනා නොකළත් අනුසය වශයෙන් පවතිනවා නම් විඤ්ඤාණය පිහිටනවා. අරමුණ කිවුවෙ ඒ අරබයා අපි හිතන දේ රූපාරම්මණයෙ බැ`දී පවතින එකට. අපි මෙහෙම හිතමු. ශබ්දයක් ඇහෙනවා. කනට ශබ්ද ආරම්මණය ලැබෙනවා. මේ ශබ්ද ආරම්මණය අරබයා චෙතෙති, පකප්පෙති. කවදාවත් අහලා නැති ශබ්දයක් නම් ‘මොකක් ද ඒ ශබ්දෙ’ කියලා ශබ්දය ගැන හිතනවා. තවත් ශබ්දයක් අහපු ගමන් දන්නවා ‘පූසෙක් කෑගහන ශබ්දෙ, බස් එකක ශබ්දෙ,’ හිතපු දේට අනුව කල්පනා කරනවා පකප්පෙති. ශබ්ද ආරම්මණය කියනකොට හොඳට දකින්න කන ඉදිරියට එන ශබ්දය අරබයා විස්තර මුකුත් නැහැ. ශබ්ද මාත‍්‍රයක් විතරයි. ඒ අරබයා චෙතෙති - හිතනවා. පකප්පෙති - කල්පනා කරනවා. අහවල් ශබ්දයයි කියලා ඒ ශබ්ද ආරම්මණයට හිතනවා.

සමහර විටෙක එහෙම හිතුවෙත් නෑ. කල්පනා කළෙත් නෑ. ඇහෙන ශබ්දයෙ යථාභූත ස්වභාවය නොදන්නවා. නොදකිනවා. එවිට අරමුණේ විඤ්ඤාණය පිහිටනවා. අරමුණේ විඤ්ඤාණය පිහිටියාම ඒ ශබ්දය කාර් එකක ශබ්දයක්, බස් එකක ශබ්දයක්, ගිරවෙක් කෑගහන ශබ්දයක් වෙලා හම්බ වෙයි. එතකොට දකින්න අරමුණේ විඤ්ඤාණය පිහිටලා. ආරම්මණය හම්බවුනේ ශබ්ද මාත‍්‍රයක් මනෝ විඤ්ඤාණයෙන් තමයි කාර්, බස්, ගිරව් ටික එකතු කළේ. මනසින් උපන්න කාර්, බස්, ගිරවු කියන මේ අදහස් ටික අරමුණට බැන්දහම නිමාණය වෙනවා ගිරවෙක්ගෙ ශබ්දයක්, වාහනයක ශබ්දයක්. ඔන්න අරමුණක විඤ්ඤාණය පිහිටියම වෙන දේ තමයි ඒ ආරම්මණයට විස්තර ටිකක් එකතු වෙනවා. හැම වෙලාවෙම ශබ්ද ආරම්මණයක් කන ඉදිරියට එනකොට ඒ අරබයා අපි ප‍්‍රතිචාරයක් නොදැක්වූවට මනෝ විඤ්ඤාණය ඊට නැඹුරු වෙලාමයි පවතින්නේ. ඒ මනසෙ උපදින ගතිටික ඇහෙන ශබ්දෙට පෙනෙන රූපෙට බැන්දහම හිතේ තියෙන විස්තර ටිකයි අරමුණයි දෙක එකට එකතු කරලා තමයි අපිට කර්ම විඥානය සකස් වෙන්නේ. විඤ්ඤාණය පිහිටියා වෙන්නෙ එතකොට. අරමුණේ විඤ්ඤාණය පිහිටියාම ඒකෙ ලක්ෂණය තමයි දැකපු දේවල් ආපහු සොයාගෙන යන්න පුළුවන්.

ඇස් ඉදිරිපිටට එන්නෙ වර්ණ සටහනක්, ඒ ආරම්මණයෙ විඤ්ඤාණය පිහිටියාම රන් රිදී, මුතු මැණික්, ගෙවල් දොරවල්, හරකා බාන, ඉඩකඩම්, මිල මුදල් කියන ටිකක් නිමාණය වෙනවා. එහෙම වුනාම තියෙන ලක්ෂණය තමයි දැකපු දේවල් තියෙනවා කියන මට්ටම තමන්ගේ මනසේ බැ`දිලා තියෙයි.

කන ඉදිරිපිටට එන්නේ ශබ්ද ආරම්මණයක්. ඒ ශබ්දාරම්මණය අරබයා හිතයිද, කල්පනා කරයිද, අනුසය වශයෙන් පවතියිද, නොසිතුවත්, කල්පනා නොකළත් ඒ ශබ්දය කියන තැන තියෙන යථාභූත ස්වභාවය නොදන්නවා නොදකිනවා කියන කොට ශබ්දයට කාරණා එකතු වෙනවා. වාහනේක ශබ්දයක්, කපුටෙක්ගෙ ශබ්දයක් කියලා ශබ්දෙට ද්‍රව්‍ය කාරණා එකතුවෙයි. එකතුවුනහම තියෙන ලක්ෂණය තමයි, තිබුන වස්තුවක ශබ්දෙකුයි ඇහුවෙ, තියෙන වස්තුවක ශබ්දෙයි අහන්නෙ, ශබ්දෙ අහපු වස්තුව තියෙයි, කියන තැනකින් හම්බවෙයි.

ගන්ධාරම්මණයක් නාසයට හම්බවෙනකොට හිතනවා කල්පනා කරනවා මේ ගන්ධය මොකක් ද කියලා. හිතලා කල්පනා කරලා ඇත්ත නොදකිනකොට ඒත් අනුසය පිහිටනවා. නොසිතුවත් කල්පනා නොකළත් අනුසය වශයෙන් පිහිටනවා. ගන්ධාරම්මණයේ විඤ්ඤාණය පිහිටියාම තියෙන ලක්ෂණය තමයි මල් සුවඳ දැනගන්න පුළුවන්. අශූචි දුගඳ දැනගන්න පුළුවන්. ගඳ, සුවඳට ද්‍රව්‍ය කාරණා එකතුවෙයි.

ජීවිහා අරමුණේ විඤ්ඤාණය පිහිටියොත් දිවට රසයක් හම්බවෙනවා. ලූණු රස, තිත්ත රස, ඇඹුල් රස, කියලා රසය නම් කළාට කමක් නෑ. නමුත් විඤ්ඤාණය පිහිටියොත් ගොරකා වගේ කියලා කළුපාට කෑලි ටිකක් එකතුවෙයි. සීනි වගේ කියලා සුදුපාට කැට ටිකක් එකතු වෙයි. අඹ වගේ කියලා ගෙඩි ටිකක් එකතු වෙයි. රසයට රූප ටිකක් එකතු වෙයි, විඤ්ඤාණය පිහිටියාම. පොට්ඨබ්බ ආරම්මණය කයට ගැටෙන්නෙ. විඤ්ඤාණය පිහිටියාම අතක් ඇෙ`ග් හැප්පුනා. පුටුව ඇෙ`ග් හැප්පුනා. කටුවක් ඇනුනා කියලා ගැටුන දේක විස්තර ටිකක් හම්බවෙයි. හිතට පහළවෙන, ධම්මාරම්මණයෙ විඤ්ඤාණය පිහිටියාම දරුවා මතක් වුනා, අම්මා මතක් වුනා, ගෙදර මතක් වුනා කියලා ධම්මාරම්මණය ඇතුලෙ ද්‍රව්‍ය කාරණා සත්ව පුද්ගලයො ටිකක් හම්බවෙයි.

ආරම්මණයෙ විඤ්ඤාණය පිහිටියාම අපිට හම්බ වෙනවා අලූතින් ලෝකයක්. හොඳට බලන්න යථාර්ථ වශයෙන් ඇස් ඉදිරිපිටට ආවෙ වර්ණ රූපයක්, වර්ණ සටහනක්, අරමුණේ විඤ්ඤාණය පිහිටියාම, ඒකට හිතුවා හෝ කල්පනා කළා හෝ නොහිතුවා කල්පනා නොකළා හෝ ඒ පේන රූපාරම්මණයෙ ඇත්ත නොදකිනවා කියනකම හින්දා හෝ පේන රූපායතනයට රන් රිදී ගහ කොළ, දුවා පුතා දකින්න පුළුවන් වගේ තැනකින් සතුටු වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන් විදියෙ රූපයක් අපි හදාගෙනයි පරිහරණය කරන්නෙ.

අපි ඉපදෙන්න ඉස්සෙල්ලා දැන් අපි පරිහරණය කරන විදියෙ ලෝකයක් තිබුනෙ නැහැ. අපි මැරුණට පස්සෙ තියෙනවත් නෙවෙයි. ජීවත්ව ඉන්නකොටත් අපි ලෝකය හදාගෙනයි පරිහරණය කරන්නෙ. අපිට යථාර්ථ වශයෙන් රත්තරං හෝ රිදී හෝ හම්බවුනේ නෑ. ඇස් ඉදිරිපිටට එන්නෙ වර්ණ සටහන් මාත‍්‍රයක්. වර්ණ රූපයක්. අරමුණේ විඤ්ඤාණය පිහිටියහමයි ඒක රන් රිදී වෙන්නෙ.

බුදුරජාණන් වහන්සේ එක කාරණාවක් පෙන්නුවා. ආරම්මණයකට හිතුවොත්, කල්පනා කළොත් අනුසය වශයෙන් පැවතුනොත් ඒත් විඤ්ඤාණය පිහිටනවා. නොසිතුවත්, කල්පනා නොකළත් ඒත් විඤ්ඤාණය පිහිටනවා කියලා පෙන්නුවා. එතකොට දැන් රූපාරම්මණ, ශබ්දාරම්මණ, ගන්ධාරම්මණ, රසාරම්මණ, පොට්ඨබ්බාරම්මණ, ධම්මාරම්මණ කියන ආරම්මණ හයේ හිතුවත්, නොහිතුවත් ඔය හය ඇතුළෙ ගැලවීමක් නෑ කියන එක පේන්න  ඕනෙ. මම මුලින් මතක් කළා අනුසය කියන ධර්මතාවයට තියෙන වැට තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එයින් මෙහා අනුසය ධර්මයෝ අනුසය වෙනවාමයි. එහා පැත්තට ගියොත් ලෝකෝත්තර දශනය වෙනවාමයි. මේ ආරම්මණ හයේ ලෝකෝත්තර මාර්ග දශනයක් නොපිහිටා අනුසය ධර්මයන්ගෙන් මිදෙන්න ක‍්‍රමයක් නෑ. ඒ ස්පර්ශ ආයතන හය ඇතුළෙ ප‍්‍රතිචාර දැක්වූවත්, නොදැක්වූවත් - හොඳට ප‍්‍රතිචාර දැක්වූවත්, නරකට ප‍්‍රතිචාර දැක්වූවත්, එබඳු ප‍්‍රතිචාර නොදැක්වූවත් ජරා මරණයන්ගෙන් මිදිලා නෑ.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

මේ උතුම් සඳහම් ලිපිය කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන් 0725400094 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් යොමු කරන්න.

දිනපතා මෙවැනි උතුම් සඳහම් ලිපි කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන්ට අපගේ සඳහම් සමූහය සමඟ එක් විය හැක.

https://chat.whatsapp.com/LDw0pu6WqhrFcZFxMuHxJu

මෙවැනි වටිනා සඳහම් ලිපි එකතුවකින් යුතු අපගේ නිල වෙබ් පිටුවට පිවිසෙන්න

pansilmaluwa.lk

තෙරුවන් සරණයිමේ උතුම් සඳහම් ලිපිය කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන් 0725400094 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් යොමු කරන්න.

දිනපතා මෙවැනි උතුම් සඳහම් ලිපි කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන්ට අපගේ සඳහම් සමූහය සමඟ එක් විය හැක.

https://chat.whatsapp.com/LDw0pu6WqhrFcZFxMuHxJu

මෙවැනි වටිනා සඳහම් ලිපි එකතුවකින් යුතු අපගේ නිල වෙබ් පිටුවට පිවිසෙන්න

pansilmaluwa.lk

තෙරුවන් සරණයි

Post a Comment

0 Comments