නව ලිපි මාලාවක ආර්මභය බැවින් දිනපතා මෙම ලිපි මාලාව පිලිවෙලින් පරිශීලනය කරන මෙන් ඉල්ලා සිටිමු
දුතීය චේතනා සූත‍්‍රය : 01 කොටස
නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
‘යඤ්ච භික්ඛවෙ චෙතෙති, යඤ්ච පකප්පෙති, යඤ්ච අනුසෙති, ආරම්මණ මෙතං හොති විඤ්ඤාණස්ස ඨිතියා ති’
ධර්මශ‍්‍රවණාභිලාශී ශ‍්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලූදෙනා දැන් මේ සූදානම් වෙන්නේ ලොවුතුරා බුදු රජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ‍්‍රවණය කරන්නට. ඒ නිසා හැම දෙනාම තමන්ගේ හිත, කය, වචනය සංවර කරගෙන, විශේෂයෙන් ම සිතින් නොයෙක් නොයෙක් අරමුණු ගන්නේ නැතුව බොහෝම උවමනාවෙන් මේ දේශනාව ශ‍්‍රවණය කරන්නට ඕන.
අද මම දේශනා කරන දහම් කරුණ ස්වභාවයෙන් ම ටිකක් ගැඹුරුයි. දේශනාව ඔස්සේ ම හිත පවත්වා ගත්තොත් මේ දේශනා කරන දහම් කරුණු හොඳට වැටහේවි. හිත ටිකක් හෝ බැහැරට යොමු වුනොත් වටහාගන්නට අපහසු වේවි. ඒ නිසා හොඳට අවධානය පවත්වා ගන්නට උත්සාහවත් වෙන්න.
සංයුක්ත නිකායෙ, අභිසමය සංයුත්තයෙ, දුතිය චේතනා සූත‍්‍රයෙ එන දහම් පාඨයකුයි මම අද මාතෘකා වශයෙන් තැබුවේ. බුදු රජාණන් වහන්සේ මේ සූත‍්‍රය දේශනා කරලා තියෙන්නේ සැවැත්නුවර ජේතවනාරාමයේ දි. මේ සූත‍්‍රයෙන් බොහොම වටිනා කාරණාවක් පෙන්වනවා.
බුදු රජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා, ‘යඤ්ච භික්ඛවෙ චෙතෙති, යඤ්ච පකප්පෙති, යඤ්ච අනුසෙති, ආරම්මණ මෙතං හොති විඤ්ඤණස්ස ඨීතියා. ආරම්මණෙ සති පතිට්ඨා විඤ්ඤාණස්ස හොති. තස්මිං පතිට්ඨිතෙ විඤ්ඤණෙ විරූළ්හෙ නාමරූපස්ස අවක්කන්ති හොති, නාමරූප පච්චයා සළායතනං, සළායතන පච්චයා ඵස්සො, ඵස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවො, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති. ඒව මේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.’
එක තැනකින් පටන්ගත්තහම අවසන් වෙන්නේ ජරා මරණ සෝක පරිදේව දුක් ෙදාම්නස් උපායාස උපද්දලා. කොතනින් පටන් ගත්තමද?
‘යඤ්ච චෙතෙති, යඤ්ච පකප්පෙති, යඤ්ච අනුසෙති, ආරම්මණ මෙතං හොති විඤ්ඤාණස්ස ඨීතියා.’
දෙවනුවට බුදු රජාණන් වහන්සේ නැවත දේශනා කරනවා ‘නො චෙ භික්ඛවෙ චෙතෙති, නො චෙ පකප්පෙති, අථ චෙ අනුසෙති, ආරම්මණ මෙතං හොති විඤ්ඤාණස්ස ඨීතියා’
යමෙක් නොසිතයි ද, කල්පනා නොකරයිද, එහෙත් අනුසය වශයෙන් පවතී ද, අරමුණේ විඤ්ඤාණය පිහිටනවා. අරමුණේ විඤ්ඤාණය පිහිටියොත් ඒ විඤ්ඤාණය වැඞීමට පත්වෙයි. වැඩුන විට නාම රූපයට බැස ගැනීමක් වෙයි. ආයතන සකස් වීමක් වෙයි. සියලූ දුක් හටගැනීම සිදුවෙයි.
අපි මේ අර්ථය ටිකක් විමසලා බලමු. යඤ්ච චෙතෙති, යඤ්ච පකප්පෙති, යඤ්ච අනුසෙති මේ ආකාරයට වුනොත් අරමුණේ විඤ්ඤාණය පිහිටනවා. අරමුණු හයක් තියෙනවා. රූප අරමුණ, ශබ්ද අරමුණ, ගන්ධ අරමුණ, රස අරමුණ, පොට්ඨබ්බ අරමුණ, ධම්ම අරමුණ.
අපි ඇහෙන් රූපයක් බලනකොට තියෙන්නේ රූපාරම්මණය. ඒ රූපය අරබයා අපි මොනවා හරි හිතනවා නම් - චෙතෙති - හිතපු දේට අනුව නැවත නැවත කල්පනා කරනවා නම් - පකප්පෙති - කවදාවත් හම්බනොවුනු, දැක්කෙ නැති වස්තුවක් ඇස් ඉදිරියට එනකොට තියෙන්නෙ චෙතෙති. මේ වස්තුව මොකක් ද? කියලා හිතනවා. එහෙම හිතලා, හිතපු දේට අනුව කල්පනා කරනවා. පකප්පෙති. සමහර අරමුණු ඇස් ඉදිරියට එනකොටම හිතන්න ඕන නෑ. අපිට කල්පනා වෙනවා එකවරම ‘ආ මේ අහවලානේ’ කියලා. පකප්පෙති. ඇස් ඉදිරිපිටට රූප ආරම්මණයක් එනකොට ඒ පේන රූපය අරබයා යම්කිසි කෙනෙක් හිතුවොත් නැත්නම් කල්පනා කළොත්, අනුසය වශයෙනුත් පැවතුනොත් අරමුණේ විඤ්ඤාණය පිහිටනවා.
අපි හිතනවා, අපිට හිතෙනවා කියලා දෙකක් තියෙනවා. හිතන එකට චෙතෙති කියනවා. හිතෙන එකට පකප්පෙති කියනවා. ඔය ප‍්‍රභේද දෙකේ අර්ථය හොඳට දැනගන්න. වතමානයෙ හිතලා දැනගත්ත දේට නැවත නැවත කල්පනා කරන එකත් චෙතෙති, පකප්පෙති, නොදන්නාම දේ ගැන අලූතින් හිතන එක චෙතෙති. යම් අරමුණක් පහළවෙන කොට කල්පනා කරන්න ඕන නෑ, විස්තර ටික ඉදිරිපත් වෙලා හිතේ ගොනු වෙන එක පකප්පෙති. ඒ දෙකම අපිට ජීවිතෙන් හඳුනගන්න පුළුවන් හිතනවා සහ හිතෙනවා කියන ධර්මතා දෙක.
අපිට හිතලා තරහා ගන්න පුළුවන් ද? එහෙම බෑ. ඒකට කරුණු යෙදෙන කොට ඉබේම තරහා යනවා. ඇස් ඉදිරියට එන රූපාරම්මණය අරබයා අපි මොන විදියකට හරි හිතුවොත් අරමුණේ විඤ්ඤාණය පිහිටියා වෙනවා. ඒ දේ අරබයා කල්පනා කළොත් ඒ ද අරමුණේ විඤ්ඤාණය පිහිටියා වෙනවා. එහෙම නැත්නම් අනුසය වශයෙන් පැවතුනොත් ඒත් විඤ්ඤාණය පිහිටියා වෙනවා.
දෙවෙනි කාරණාව ‘නො චෙ භික්ඛවෙ චෙතෙති, නො චෙ පකප්පෙති, අථ චෙ අනුසෙති, ආරම්මණ මෙතං හොති විඤ්ඤාණස්ස ඨිතියා’ ඇස් ඉදිරිපිටට එන රූපයට කල්පනා කරන්නෙත් නෑ. කිසිවක් හිතන්නෙත් නෑ. ඒ කියන්නෙ ප‍්‍රතිචාරයක් නොදක්වා ඉන්නවා. උපෙක්ෂාවෙන් ඉන්නවා. නමුත් අනුසය පවතිනවා නම් ඒත් අරමුණේ විඤ්ඤාණය පිහිටනවා.
විඤ්ඤාණය පිහිටියොත් නාම රූපයට බැස ගැනීම වෙනවා. නාම රූපයට බැස ගත්තොත් ආයතන හැදෙනවා. ආයතන හැදුනොත් ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුනොත් වේදනා එනවා කියන මේ සිදුවීම් ටික දකින්න, ජරා මරණ ඇතිවෙන හැටි.
විඤ්ඤාණය පිහිටියොත් නාම රූපයට බැසගන්නවා ආයතන වෙනවා කියන එක දෙආකාරයකින් ම දැනගන්න වෙනවා. දෙයාකාරය කිව්වෙ මේ ජීවිතේ අරමුණේ විඤ්ඤාණය මේ කයේ ම හැසිරෙමින් මේ කයම සවිඥානක කරලා මේ කයේ ම ආයතන හැදිලා, ආයතන වලට ස්පර්ශ වෙලා වේදනාව ඇතිවෙනවා කියලා එක්ක්‍ෂණිකව ජාති නිසා ජරා මරණෙකුත් වෙනවා.
විඤ්ඤාණය පිහිටියොත් ප‍්‍රතිසන්ධි වශයෙන් ද නාම රූපයට බැසගෙන ආයතන හැදිලා ජරා මරණ දුක සංසාරික වශයෙන් ද ඇතිවෙනවා කියලා අර්ථ දෙකක්ම තියෙනවා. ඒ අර්ථ දෙකෙන්ම එක කාරණයක් ප‍්‍රකට වෙනවා. ජරා මරණ කියන ධර්මතාවයෙන් මිදිලා නෑ. ජරා මරණ කියන ධර්මතාවය ස්පර්ශ කරන්න වෙනවා කියන සිද්ධිය තියෙනවා.
හොඳයි. අපි කොහොමද අනුසය වශයෙන් පවතිනවා කියන කාරණාව දැනගන්නෙ, හිතන්නෙත් නැහැ. කල්පනා කරන්නෙත් නැහැ. නමුත් අනුසය වශයෙන් පවතින්න පුළුවන්. මේ අනුසය ඇති කරන්න හෝ නැති කරන්න අපිට කිසිම දෙයක් කරන්න බැහැ. ඒ සඳහා යම්කිසි ප‍්‍රතිකි‍්‍රයාවක් දක්වනවා නම් දක්වන්න වෙන්නේ ඊට විරුද්ධ පාක්ෂිකයා හොයාගෙන.
යම් දෙයක් ගැන විස්තර කරන්න පුළුවන් දෙයාකාරයකින්. තමන් බලවත් නම්, ‘‘ මම මෙන්න මේ වගේ කෙනෙක්. මට මෙහෙම දේවල් කරන්න පුළුවන්. මං අහවලාටත් මෙහෙම කළා’’ කියලා තමන් ගැන ලොකු විස්තරයක් කරන්න පුළුවන්.
තව ක‍්‍රමයක් තියෙනවා. පරමාර්ථය හොඳට විස්තර කරනවා. ‘‘අහවල් පුද්ගලයා මෙහෙම කෙනෙක්. බොහොම බලසම්පන්නයි. මේ වගේ හැකියාවක් තියෙන කෙනෙක් මෙහෙම දේවල් කරලා තියෙන කෙනෙක්’’ කියලා , ‘‘මම එයාවත් පැරැුද්දුවා’’ කියලා කිවුවහම තමන් ගැන වර්ණනාව ඉබේමයි තියෙන්නෙ, අමුතුවෙන් නොකිව්වට. ඒ වගේ අනුසය කියන්නෙ මොකක්ද කියලා කියන්න ගියාම එයා ගැනත් කියන්න පුළුවන්. විචිකිච්ඡුා අනුසය, දිට්ඨානුසය, කාමරාග අනුසය, පටිඝ අනුසය, භවරාග අනුසය, මාන අනුසය, අවිද්‍යා අනුසය කියලා අනුසය ධර්ම හතක් තියෙනවා කියලා විස්තර කරන්නත් පුළුවන්. ඒ වගේ ම එයාව පෙන්නන්න ප‍්‍රතිවාදියා පෙන්නන්නත් පුළුවන්. මෙන්න මෙයා හිටියොත් මෙයා නෑ. මෙයා නැත්නම් මෙයා ඉන්නවා කියලා පෙන්නන්නත් පුළුවන්.
මේ අනුසය කියන එකට වැට තමයි ලොකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨියකින් විතරමයි අනුසය කියන ධර්මතාවය නැතිවෙන්නෙ. අපිට දැනගන්න පුළුවන් සප්ත අනුසයක් තියෙනවා කියලා . නමුත් ඒ අනුසය ඇති කරන්න හෝ නැති කරන්න හෝ ප‍්‍රතිකි‍්‍රයාවක් දක්වන්න හෝ අපිට බැහැ. උදාහරණයක් කිවුවොත් අපිට අඳුර කියලා යමක් අඳුනාගන්න පුළුවන්. නමුත් අඳුර ඇති කරන්න හෝ නැති කරන්න හෝ අඳුරට ප‍්‍රතිකි‍්‍රයාවක් දක්වන්න හෝ අපිට මොන විදියකටවත් හැකියාවක් නැහැ. අඳුර ගෝනියකට පුරවලා තියෙන තැනින් ඉවතට ගෙනියන්න පුළුවන් ද? එහෙම කරන්න බැහැ. ඒ කියන්නේ සෘජුවම අඳුරට මුකුත් කරන්න බැහැ. ඒ වගේ අනුසයට සෘජුවම මුකුත් කරන්න බැහැ. කරන්න පුළුවන් වෙන්නෙ ප‍්‍රතිවිරුද්ධ දෙයක් විතරයි. ආලෝකය දල්වලා අඳුර නැති කරන්න පුළුවන්. ආලෝකය නැති කරලා අඳුර ඇති කරන්න පුළුවන් මිසක අඳුරට එරෙහිව වෙන යමක් කරන්න බැහැ. ඒ වගේ අනුසය කියන එකට වැට තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. අනික් කුසල් වලින් අවශේෂ කෙලෙස් නැති කරන්න පුළුවන්. නමුත් අනුසය කියන කෙලේසය නැති වෙන්නෙ ලෝකෝත්තර මාර්ගයෙන් විතරමමයි. විචිකිච්ඡුා අනුසය, දිට්ඨි අනුසය කියන අනුසය ධර්මයෝ සෝවාන් මාර්ගයෙනුත්. ඕදාරික කාමරාග අනුසය පටිඝ අනුසය සකෘදාගාමී මාර්ගයෙනුත්, අවශේෂ කාමරාග අනුසය, පටිඝ අනුසය දෙක අනාගාමී මාර්ගයෙනුත්, මාන අනුසය, භවරාග අනුසය, අවිද්‍යා අනුසය අරිහත් මාර්ගයෙනුත් නැතිවෙනවා.
මතු සම්බන්ධයි!
ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.
මේ උතුම් සඳහම් ලිපිය කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන් 0725400094 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් යොමු කරන්න.
දිනපතා මෙවැනි උතුම් සඳහම් ලිපි කියවීමට හෝ බෙදා හැරීමට කැමති පිංවතුන්ට අපගේ සඳහම් සමූහය සමඟ එක් විය හැක.
https://chat.whatsapp.com/LDw0pu6WqhrFcZFxMuHxJu
මෙවැනි වටිනා සඳහම් ලිපි එකතුවකින් යුතු අපගේ නිල වෙබ් පිටුවට පිවිසෙන්න
pansilmaluwa.lk
තෙරුවන් සරණයි
0 Comments