විභජ්ජවාද පළමු දේශනාව- 1 කොටස.

විභජ්ජවාද පලමු දේශනාව: (1)

නමො තස්ස භගවතො අරහ‍තො සම්මා සම්බුද්ධස්ස

ශ්‍රද්ධාසම්පන්න කාරුණික පින්වතුනි,
අපි බලාපොරොත්තු වෙන්නේ අභිධර්‍ම පිටකයේ පළමුවෙනි ග්‍රන්ථයවන ධම්මසඞ්ගණී ප්‍රකරණයට අදාල රූප කාණ්ඩයේ කොටස් ටික සාකච්ඡා කරන්නට, මූලික වශයෙන්.

අපේ විදර්‍ශනා භූමිය දිවෙන්නට අවශ්‍යවෙනවා යම් දැනුම් පරාසයක්. විදර්‍ශනාව පිළිබඳව අපි කොතෙකුත් කතා කළත්, අපේ විදර්‍ශනා භූමිය දිවෙන්නට අවශ්‍යවෙන ධර්‍මතා සමූහයක් නැතුව විදර්‍ශනා කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. කෝච්චියක් යන්න රේල් පාරක් අවශ්‍යයි වගේම, මේ විදර්‍ශනාව ගමන් කරන්නට විෂයවෙන භූමියක් අවශ්‍යයි.

ඒ විදර්‍ශනා භූමිය තමයි, ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්ච සමුප්පාද කියන මේ න්‍යාය ධර්‍මයන්. මූලික වශයෙන්ම අපි ස්කන්ධ ධර්‍මතා ටික පිළිබඳව සාකච්ඡා කළොත්, ස්කන්ධ ටිකේ පලවෙනි ස්කන්ධය තමයි, රූපස්කන්ධය. මේ රූපස්කන්ධය පිළිබඳව විග්‍රහ කරලා තියෙන ඉතාමත් වටිනාම ධර්‍ම කොට්ඨාශය, ධම්මසඞ්ගණීප්‍රකරණයේ එන රූප කාණ්ඩයට අදාලව එන විස්තර ටික.

මේ ධර්‍මතා ටික විග්‍රහ කරගැනීම තුළ, අපේ විදර්‍ශනා භූමි කොහොමද සකස් විය යුත්තේ කියන දැනුමක් අපට ඇතිවෙනවා. විශේෂයෙන්ම, වර්‍තමාන සමාජය දිහා බලනකොට, අද වර්‍තමාන සමාජයට අවශ්‍යවෙලා තියෙන්නේ, දැනගැනීමෙන් තොරව, කිරීමට දෙයක්. හැමෝටම ඕන භාවනාවක්. හැමෝටම ඕන අද දවසේ කරන්න දෙයක්. නමුත් බුදුරජාණන්වහන්සේගේ බුද්ධ ශාසනය, බුදුරජාණන්වහන්සේගේ පණිඩිඩය, කවදාවත් පටන්ගන්නේ නැහැ,ඉස්සරවෙලාම කරන්න පනවන දෙයක් තුළ.

බුද්ධ ශාසනය ආරම්භවෙන්නේ, සත්‍ය ඥානය තුළ මිසක, කෘත්‍ය ඥානය තුළ නෙවෙයි. සත්‍ය ඥානය තුළ මේ මාර්‍ගය වඩන කෙනා දැනගෙන ඉන්නට වෙනවා, අවබෝධ කරගන්නට වෙනවා, කුමක් දක්වාද මේ මාර්‍ගය වැඩිය යුත්තේ, කෙසේද, කුමන ධර්‍මතා ඔස්සේද මාර්‍ගය වඩන්නේ කියන මේ දැනුම. සත්‍ය ඥානය ලබාගන්නා තුළ පලමුවෙන්ම මේ දැනුම තිබිය යුතුයි. ඒ දැනුම ලබාගත්ත කෙනා තමයි, ඊටපස්සේ කෘත්‍ය ඥානයට යොමුවෙන්නේ, එහෙම නැත්නම් යමක් කරන්න පටන් ගතයුතු වෙන්නේ.

සරළවම කියනවා නම්, ශාසනය පටන් ගන්නේ භාවනාවෙන් නෙවෙයි. අද අපි දකින සම්මතයේ කමටහනකින් නෙවෙයි ශාසනය පටන්ගන්නේ. ප්‍රඥාවෙන්, එහෙම නැත්නම් සම්මා දිට්ඨියෙන්, එහෙමත් නැතිනම් දර්‍ශනය පිරිසිදු කරගන්න තැනින්.

අපේ දර්‍ශනය පිරිසිදු වෙන්නට නම් අපි දැනගෙන ඉන්නට වෙනවා, මේ ලෝකයේ යහපත් දර්‍ශනය සහ අයහපත් දර්‍ශනය අතර ඇති වෙනස මොකක්ද කියන එක. ඒ වෙනස අපට දැනගන්න පුළුවන්කමක් නැහැ, අපේ ජීවිතයේ, යහපත් දර්‍ශනයට අදාළ පසුබිම පිළිබඳව, යහපත් දර්‍ශනය පිළිබඳව ඇතිවියයුතු කාරණා පිළිබඳව දන්නේ නැත්නම්, හඳුනන්නේ නැත්නම්.

කොටින්ම මේ ස්කන්ධාදී ධර්‍මයන්ගෙන් තොරව යමෙක් මනාකොට ප්‍රතිපදාව වඩනවා කියනවා නම්, වොස්සග්ග පරිනාමව නිවන එකම අරමුණ කරගෙන ප්‍රතිපදාව වඩනවා කියනවා නම්, ඒක කිසිදු කලෙක සිද්ධවෙන කාරණාවක් නෙවෙයි.

ඒ නිසා, යම් කෙනෙකුගේ නිර්‍වානගාමිණී ප්‍රතිපදාව සාර්‍ථකවෙන්න නම්, විශේෂම දේ තමයි, මේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ හසල දැනුමක් ඇති කරගැනීම.

මතු සම්බන්ධයි...
තෙරුවන් සරණයි...!!!

Post a Comment

0 Comments