විභජ්ජවාද පළමු දේශණාව- 3 කොටස

විභජ්ජවාද
පලමු දේශනාව:3

කාම භූමියේ සත්ත්වයෝ, විශේෂයෙන්ම රූපය අනුව ගිහිල්ලා, රූපය පරියාපන්නව ජීවත්වෙනවා. කාම භූමිය කියලා කියන්නේ, සතර අපාය, මනුස්ස ලෝකය, සහ දිව්‍ය ලෝක හය. මේ සියළුම දේ කාම ලෝකයට අයිති ධර්‍මතාවයන්.

මේ කාම ලෝකයේ සත්ත්වයා, රූපය අනුවම යනවා, රූපය අනුවම සැප දුක් විඳිනවා, රූපය අනුවම ජීවත්වෙනවා. මේ රූපය අනුවම ජීවත්වෙන, රූපය අනුවම පෙරලෙන, රූපය අනුවම යන සත්ත්වයා හට බුදුරජාණන්වහන්සේ රූපය පිරිසිඳ දැකීමට අවශ්‍ය කාරණා දේශනා කළා.

මේ පින්වතුන් කවුරුත් අහලා ඇති සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රයේ ඉස්සරවෙලාම පෙන්වනවා කායානුපස්සනාව. කායානුපස්සනාවෙන් පෙන්වන්නේරූපය පිරිසිඳ දකින්නට අවශ්‍ය දහම් කාරණා ටික. රූපයේ ඇත්ත පෙන්වන්න අවශ්‍ය පසුබිම තමයි කායානුපස්සනාව තුළ විග්‍රහ කරන්නේ.

අද අපට වැඩිපුර ආශ්‍රව ධර්‍මතා ටිකක් තියෙන්නේ රූපය ගැන, රූපස්කන්ධය පිළිබඳව. ඒ නිසා, අපි මේක ටිකක් කාල වේලාව අරගෙන කතා කළ යුතු මාතෘකාවක්, සාකච්ඡා කළයුතු දෙයක්.
අපි කාටවත් පුළුවන්කමක් තියෙනවාද රූපයක් ගැන හිතන්නේ නැතුව, වෙනත් දෙයක් ගැන හිතන්න, කල්පනා කරන්න? අපි හිතනවා නම්, කල්පනා කරනවා නම්, ඒ හිතන, කල්පනාකරන හැමදේම, රූපය අනුවම ගිහිල්ලා, රූපය අනුවම කල්පනා කරනවා, රූපය අනුවම ජීවත්වෙනවා. ඒක තමයි අපේ ස‍්වභාවය. ඒක තමයි, කාම භූමිය පරියාපන්නවීම, අනුගතවීම.
අන්න ඒ අවස්ථාවේ ඇති ධර්‍මතා ටික තමයි අපි මේ විදියට විග්‍රහ කරගන්න බලාපොරොත්තුවන්නේ. අවශේෂ බොහෝ ධර්‍ම කාරණා රාශියකුත් සමග අපි මේ ධර්‍මය අවබෝධ කරගන්න මේ වෙලාව යොදාගනිමු, උත්සාහවත්වෙමු.
බුදුරජාණන්වහන්සේ, ධම්මසඞ්ගණී ප්‍රකරණයේ රූප කාණ්ඩය තුළදී, ‘තත‍්ථ කතමං සබ්බං රූපං‘ සියළු රූපය කියන්නේ මොකක්ද කියන එක, රූපස්කන්ධය පිළිබඳව, විග්‍රහයක් කරනවා.

මේකේදී, පළමුවෙනි වශයෙන් විස්තර කරනවා, රූපස්කන්ධයේ ස‍්වභාවය. ‘චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං, ඉදං වුච්චති සබ්බං රූපං‘. සතර මහා ධාතුවත්, සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපයත් කියන මේ ටිකට කියනවා, සියළු රූපය කියලා. මේ විදියට, සංක්‍ෂිප්ත වශයෙන්, නැතිනම් මාතිකා වශයෙන් බුදුරජාණන්වහන්සේ රූපය කෙටියෙන් විග්‍රහ කළා, සතර මහා ධාතුවත්, සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපයත්, මෙන්න මේක තමයි රූපස්කන්ධය කියලා.

ඊටපස්සේ, ‘එකවිධේන රූප සංගහෝ‘ කියන කොටසේදී, ‘එකවිධේන රූප සංගහෝ‘ කියලා එක් ආකාරයකින් රූපය විග්‍රහකරනවා. එක් ආකාරයකින් රූපය මෙන්න මෙහෙමයි කියලා, එක විදියකට රූපය බෙදා දක්වනවා.
ඒ ‘එකවිධේන රූප සංගහෝ‘ කියනකොටසේ බොහෝම වැදගත් කාරණා ටිකක් තියෙනවා. අපි ක්‍රමයෙන් ඒ ටික සාකච්ඡා කරමු.

මතු සම්බන්ධයි...
තෙරුවන් සරණයි...!!!

Post a Comment

0 Comments