සබ්බ දුක්ඛා පමුච්චන්ති 6


සබ්බ දුක්ඛා පමුච්චති : 6

● ප‍්‍රශ්නය: ජීවිතින්ද්‍රිය කියන්නේ කුමක් ද?

ජීවිතින්ද්‍රිය දෙයාකාරයි. නාම ජීවිතේන්ද්‍රිය සහ රූප
ජීවිතේන්ද්‍රිය. මුලින්ම මේ ජීවිතින්ද්‍රියේ ලක්ෂණය අපි
තේරුම් ගන්න  ඕන. ප‍්‍රතිසන්ධි සිතෙත්, අනතුරුව පහළ
වෙන හැම සිතකමත් ජීවිතින්ද්‍රිය තියෙනවා. ආයතන
ටික ජීවත් කිරීමේ කෘත්‍යය කරන්නේ මේ සිත් වලින්
තමන්ට තමන්ව නැවත නැවත පවත්වාගෙන යන
හැකියාව තියෙන්නෙ ජීවිතින්ද්‍රියේ.

ලෝකෙ වස්තු දෙකට බෙදන්න පුළුවන්. පණ ඇති වස්තු
සහ පණ නැති වස්තු කියලා. මනුෂ්‍යයො, සත්තු,පණ
ඇති වස්තු. පණ ඇති සතුන්ගෙ කයත් තියෙනවා.
විඤ්ඤාණයත් තියෙනවා. චිත්ත චෛතසිකත් තියෙනවා.

ඔය පින්වතුන් අළුතින්ම ගත්ත සෙරෙප්පු දෙකක්
දාගෙන මාස හයක් විතර ඇවිද්දොත් සෙරෙප්පු දෙකේ
අඩිය හොඳටම ගෙවිලා තියෙයි නේද? සෙරෙප්පු නැතිව
ඒ විදියටම මාස හයක් ඇවිද්දොත් කකුල් ගෙවෙන්නෙ
නෑ එහෙම. මැරෙන්න කෙනෙක් ඉතුරු වෙන්නෙත්
නැතිවෙයි නේද එහෙම ගෙවුනොත්. නමුත් කොච්චර
ඇවිද්දත් කකුල් ගෙවෙන්නෙ නැත්තෙ ගෙවෙන ගෙවෙන
කොටස් නැවත හදාගන්න නිසා. සෙරෙප්පුවට ඒ
හැකියාව නැහැ. ගෙවුනා නම් ගෙවුනාම තමයි.

ගහක අත්තක් කැපුවොත් නැවත වැවෙනවා. රූප
ජීවිතේන්ද්‍රිය කියන්නෙ රූපය පවත්වා ගැනීමේ
හැකියාව එයාටම තියෙනවා. මැරිච්ච ගහක කෑල්ලක්
කැපුවට ඒක වැවෙන්නෙ නෑ. ජීවිතින්ද්‍රිය නෑ. ඒ වගේ
නැසෙන, නැසෙන කොටස් නැවත උපද්දවා ගැනීමේ
හැකියාවටයි රූප ජීවිතේන්ද්‍රිය කියලා කියන්නෙ.

මේ කය ඇසුරු කරගෙන රූප ජීවිතින්ද්‍රිය වගේම නාම
ජීවිතින්ද්‍රියකුත් තියෙනවා. නිරුද්ධ වෙන චිත්ත
චෛතසික වෙනුවට නැවත නැවත චිත්ත චෛතසික
ධර්ම හැදීමේ වැඩ පිළිවෙලකුත් තියෙනවා.

ජීවිතින්ද්‍රිය කියනකොට නාමයක් හෝ රූපයක් හෝ
නැවත නැවත අළුත්වැඩියා කරගන්න පුළුවන්කමින්
දත යුතුයි.

● ප‍්‍රශ්නය: නාම රූප කියනවිට නාම වශයෙන් වේදනා,
සංඥා, චේතනා, ඵස්ස , මනසිකාර හා රූප වශයෙන්
පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතුන්
ගැනීම නිවැරදිදැ’යි පැහැදිලි කර දෙන්න.

පඨවි, ආපෝ, තේජෝ, වායෝ, කියන්නෙ සතර මහා ධාතු
රූපයක් තමයි. චිත්ත චෛතසික නාම ධර්ම තමයි.
නමුත් මේ දෙන්නා එකතුවෙලා හදන රූපත් තියෙනවා.
ඒවත් රූපවලට අයිතියි. ඇහැ - ඇහැට පෙනෙන රූප
කන - කනට ඇහෙන ශබ්ද දිව - දිවට දැනෙන රස කය ,
කියන මේ රූප මහා භූත නෙවෙයි. මේවා සතර
ධාතුවලට අයිති නැහැ. සතර මහා ධාතු නිසා චිත්ත
චෛතසික වලින් ප‍්‍රකට රූප, උපාදාය රූප, මහා භූත සහ
උපාදාය රූප කියන දෙකම දත යුතුයි රූප කියනකොට.

නාම රූප කියන තැන වෙනස්කම් ටිකක් තියෙනවා. ඒක
සියුම් නිසයි මම කියන්නෙ නැත්තෙ. සිතේ තියෙන
වේදනා,සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර කියන නාම
ධර්මත්, ඇහැ, කන, දිව , නාසය , කය කියන ප‍්‍රසාද ටිකත්
නාම රූපයි කියලා දකින්න ක‍්‍රමයකුත් තියෙනවා.

ඒ වගේම සිතේ තියෙන නාම ධර්මත්, සිත ඇසුරු
කරගෙන පවතින මහා භූත රූපයත් නාම රූපයි කියලා
දකින්න ක‍්‍රමයකුත් තියෙනවා. නාම රූප මේ
දෙයාකාරයෙන් ම පවතිනවා.
 
විඤ්ඤාණ නිසා නාම රූප කියන තැන දී හැම විටම
සිතේ තිබෙන නාම ධර්මත්, ප‍්‍රසාද ටිකත් පෙන්විය
යුතුයි.

නාම රූප නිසා විඤ්ඤාණය කියන විට ඒකෙ අනිත්
පැත්ත, සතර මහා ධාතු රූපයත් නාම ධර්මත් නිසයි සිත
කියා පෙන්විය යුතුයි.

මේක ටිකක් ගැඹුරුයි. ඔය පින්වතුන්ට තේරුම් ගන්න
පහසුවෙන්න රළු උපමාවක් කියන්නම්. ලොකු කළු
ගලක් තියෙනවා. කෙනෙක් අ`ඩු මිටි ටිකකුත් අරගෙන
ඇවිත් මේ ගල උඩට නගිනවා. නැගලා ඒ ගලේ
කැටයමක් කොටන්න පටන් ගන්නවා. දැන් අර
පුද්ගලයගෙ අතේ තියෙන ආයුධ ටිකෙන් ගලේ
කැටයමක් කැපෙනවා. ඒ වෙග්ම ඒ ගල එයාට පිහිටලා
ඉන්නත් උපකාර වෙලා තියෙනවා.

දැන් ගල මෙයාට උපකාරයි. මෙයා ගලට උපකාරයි
කියලා දෙයාකාර සම්බන්ධතාවයක් තියෙනවා.

විඤ්ඤාණ පච්චයා නාම රූපං කිව්වහම ආයුධ ටික
නිසා කැටයම කපනවා වගේ. මෙයා නිසා ගලට වෙන
දේ පෙන්නන්න  ඕන.

නාම රූප පච්චයා විඤ්ඤාණං කියන විට ගල නිසා
මෙයා ඉන්න හැටි පෙන්නන්න  ඕන. මෙයා ගලේ
හිටගෙන ඉන්නෙ. හිටගෙන ඉන්න තැන කැටයම
කොටන්න බැහැනෙ. ඒ ටික කකුලට වැහිලයි
තියෙන්නෙ. එතන පිහිටලා ඉඳගෙන වටේම කැටයම
කොටනවා. දැන් ගල දෙයාකාරයකින් මේ පුද්ගලයාට
උපකාර වෙලා.

එක් ආකාරයක් පිහිටා හිටින්න. අනික් ආකාරය
කැටයම කොටන්න.

අතේ තියෙන ආයුධ ටිකෙන් ඒ පුද්ගලයා කැටයම
කොටන එක දකින්න විඤ්ඤාණය නිසා නාම රූපයි
කියලා පුද්ගලයා නිසා සිදුවෙන දේ. නාම රූප නිසා
විඤ්ඤාණය කියන කොට අතේ තියෙන ආයුධ ටිකයි
ගලයි නිසයි ඒ පුද්ගලයා ගල උඩ හිටගෙන ඉන්නෙ.

ඒ වගේ හැම වෙලාවෙම වස්තු රූපයයි, නාම ධර්ම
ටිකයි නිසයි හිත පවතින්නෙ. එහෙම පවතින හිතේ
නාම ධර්ම ටිකෙන්ම මේ කයේ වෙනස්කමුත් වෙනවා
කියලා දෙපැත්තක්ම තියෙනවා.
 
අපි බොහෝ විට විඤ්ඤාණය නිසා නාම රූප, නාම රූප
නිසා විඤ්ඤාණය  කියලා  දකින්නෙ  එකම  සිද්ධිය 
දෙපැත්තටනෙ.  එහෙම ගත්තොත් වැරදියි. ඒ කියන්නෙ
ගලේ හිටගෙන ආයුධ වලින් කැටයම කොටනවා.
කැටයමයි ආයුධයි නිසයි මෙයා ගල උඩ ඉන්නෙ
කිව්වොත් හරිද? වැරදියි. පිහිටලා ඉන්න එක වෙනම
සිද්ධියක්. කැටයම කොටන එක වෙනම සිද්ධියක්
කොටන කැටයමේ පිිහිටලා ඉන්න බැහැනේ.

ඒ වගේ කය ඇසුරු කරගෙන පවතින සිතේ නාම
ධර්මවලින් ප‍්‍රසාද හදනවා. ඔපවත් කරනවා. නමුත් ඒ
ඔපයේ මෙයා ජීවත් වෙනවා නෙවෙයි. සිත තියෙන්නෙ
කය ඇසුරු කරගෙන පවතින වස්තු රූපයෙ.

මහා භූත රූපය ඇසුරු කරගෙන සිතේ තියෙන නාම
ධර්මත්,වස්තු රූපයත් නිසයි සිත පවතින්නෙ. එහෙම
පවතින සිතේ නාම ධර්ම නිසා ප‍්‍රසාද හැදෙනවා.

විඤ්ඤාණය නිසා නාම රූප. නාම රූප නිසා විඤ්ඤාණය
කියන ධර්මතා දෙකම අඤ්ඤමඤ්ඤ ප‍්‍රත්‍යයක්
වෙනවා. හැබැයි අපි දැනගන්න  ඕන අඤ්ඤමඤ්ඤ
ප‍්‍රත්‍යය සහජාත, විප‍්‍රයුක්ත කියන තව ප‍්‍රත්‍ය නිසා වෙන
බව.

ඒ නිසා නාම රූප කියනකොට ඒ දෙයාකාරයම දත
යුතුයි. දැන් මේ නාම රූප කියලා අර්ථ දක්වන්නේ
ප‍්‍රතිසන්ධි මට්ටමේ සිතකද, එහෙම නැත්නම් විපාක
මට්ටමේ - ප‍්‍රවෘත්ති විපාක මට්ටමේ සිතක ද කියලා
ක්ෂණිකව දැන ගන්න  ඕන.

ප‍්‍රතිසන්ධි මට්ටමේ සිතකින් නාම රූප වෙන එකත්, නාම
රූප නිසා විඤ්ඤාණය වෙන එකත් අතර වෙනසක්
තියෙනවා.

ඊට පස්සෙ එක් ක්ෂණිකව උපදින අරමුණු වලදිත් නාම
රූප නිසා විඤ්ඤාණය විඤ්ඤාණය නිසා නාම රූපය
කියන සිද්ධි දෙකේ වෙනසක් තියෙනවා. අර්ථය ගොඩක්
ළඟින් යනවා වුනත් නාම රූප දෙකේ ඔවුනොවුනට
උපකාරී - අඤ්ඤමඤ්ඤ - සිද්ධියක් තියෙන්නෙ.

එතකුදු වුවත්  ඕකෙ තව යෙදෙනවා විප‍්‍රයුක්ත කියලා
ප‍්‍රත්‍යයක්. නාමයයි රූපයයි නිසා විඤ්ඤාණය
පවතිනවා. හැබැයි හැම වෙලාවෙම විඤ්ඤාණය එක්ක
යෙදිලා නැහැ. විඤ්ඤාණයෙ ගැටිලා නැහැ. මේ රූප
වෙන වෙනම තියෙද්දියි අඤ්ඤමඤ්ඤ කෘත්‍යය
වෙන්නෙ.

ඒ කොටස ටිකක් ගැඹුරුයි. ඒ නිසා දැනට තේරුම්
ගන්න. නාම රූප කියනකොට සිතේ තියෙන නාම
ධර්මයි, උපාදාය රූපයයි ගන්න අවස්ථාවකුත් තියෙනවා.
සිතේ තියෙන නාම ධර්මයි මහා භූත රූපයයි ගන්න
අවස්ථාවකුත් තියෙනවා.

ඒ නිසා රූපය කියන විට ‘චත්තාරොච මහා භූතා
චතුන්නංච මහා භූතානං උපාදාය රූපං’ කියන මේ
දෙකම දත යුතුයි.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය
මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට
යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්,
කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන
හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු
සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත
හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන්
කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන්
කාරුණිකව ඉල්ලමු.

Post a Comment

0 Comments